අනාගතයේදී මාව නීතිඥවරියක් විදිහට හැමෝටම දකින්න ලැබේවි - හිරුෂි - Nonimi

අනාගතයේදී මාව නීතිඥවරියක් විදිහට හැමෝටම දකින්න ලැබේවි – හිරුෂි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියලා කියන්නේ. ගම්පහ රත්නාවලී බාලිකා මහා විදුහලේ ඉගෙනුම ලැබූ කාලයේ ඇය නිවේදන, කථික තරගවලින් ජය ගෙන ඉන් පසුව ඇයට සිරස රූපවාහිනියේ පුංචි පැංචි ළමා වැඩසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඇය දෙරණ රූපවාහිනියේ 2018 අවුරුදු කුමරිය ලෙස දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටත් වාසනාවන්ත වුණා. මේ දිනවල නැවත විකාශනය වන දෙරණ නාලිකාවෙන්ම නිෂ්පාදනය කළ පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙස ලබාගත් ජනප්‍රියත්වය අදටත් එලෙසම රඳවා තබා ගැනීමටත් ඇයට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ සයොනාරා ටීචර් ලෙසින්ද බොහෝ දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍රවන ඇය ඇයගේ අලුත්ම තොරතුරු පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම දෙරණේ විකාශනය වුනු පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙස ලැබු ජනප්‍රියත්වය තාමත් එලෙසම තියනවා. එය තවත් වැඩි දියුණු වුණාදෝ කියලා මට හිතෙනවා එය නැවත විකාශය මේ දවස්වල සිදුවන නිසා. ඒ වගේම තමා ටීචර් අම්මා ස්වර්ණවාහිනියෙන් සතියේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයේ සයොනාරා ටීචර්ටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර දැන් ලැබෙමින් පවතිනවා. තවම ඒකේ ලොකු කොටස් ගණනක් ගියෙත් නෑ. මීට කාලෙකට කලින් මට ජාතික රූපවාහිනියේ ගිය රාවණා අඩවිය කියන රංජිත් අනුරාධ මහතාගේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ ප්‍රථම රංගනය. ඔය අතරේ මම දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා 2018 වසරේදී. ඒකෙන් පස්සේ මං දෙරණේ දිලූක ප්‍රසාද් ගුණතිලක මහතාගේ පෝය නාට්‍යවලට සම්බන්ධ වුණා. එතැන ඉඳලා දිගටම ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා.

කොහොම නමුත් මං විනෝදාංශයක් ලෙස තමයි රංගන කටයුතු සිදු කරන්නේ. මම දැනට විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබනවා. අනාගතයේදී මං නීතිඥවරියක් ලෙස වෘත්තිමයව කටයුතු කරාවි. ඒකට තව අවුරුදු දෙක තුනක් යයි. මේ කොරෝනා ආව නිසා ඒ අධ්‍යාපන කටයුතු ටිකක් ආ පස්සට ගියා. එහෙම දෙයක් නොවුණා නම් මීටත් වඩා අඩු කාලයකින් නීතිඥවරියක් වෙලා මට එළියට එන්න තිබුණා. වෘත්තිමයව නීතිඥවරියක් ලෙස කටයුතු කරන නිසා දිගටම නිර්මාණවලින් නම් මාව දකින්න නොලැබේවි. එක දිගටම ප්‍රේක්ෂකයන්ට මාව දකිනකොටත් එපා වෙලා අගයක් නැති වෙනවනේ. එනිසා ඉඳහිට දකින එක හොඳයි.මෙතෙක් මාව නිර්මාණ තුළින් හමුවුණෙත් එහෙමයි. පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයෙන් අවුරුද්දකට එක හමාරකට පස්සේ වගේ තමයි දැන් මේ ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

01

02

03

04

05

06

07

08

Courtsey-saaravita.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *