අපි සාරංග පුතාගේ ප්‍රශ්න ගැනත් දැනගෙන හිටියා. ඒවා නිරාකරණය කරගෙන සාරංගම තමයි දිනක්ෂි දුව ගැන අපෙන් ඇවිත් ඇහුවේ

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වූ දිනක්ෂි පසුගිය දිනෙක විවාහ දිවියට පිවිසුණා. ඒ… සාරංග දිසාසේකර සමඟින්. දිනක්ෂිගේ පියා කවුරුත් දන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු නමින් දිනේෂ් ප්‍රියසාද්…. ඉතින් දිනක්ෂි ගැන ඇගේ ආදරණීය මව ඇගේ මතකය මේ විදිහට කියා තිබුණා. ඒ… සතිඅන්ත පුවත්පතකට…

ලොකු දුව කැදැල්ලෙන් ඉගිලිලා යද්දි කොහොමද අම්මෙක් විදිහට ඒ අවස්ථාව දැණුනේ?

මේ ලෝකේ හැම අම්මෙක්ම සතුටු වෙන දවස වගේම ගොඩක් අඬන දවසක් තමයි දුව විවාහ වෙන දවස. ඒක හරිම සංවේදී සතුටක්. එදා අඬන්නේ නැතුව මම ඒ දුක දරාගත්තේ බොහොම අමාරුවෙන්. මොකද මගේ ඇස්වල කඳුළු දැක්ක නම් ලොකු දුවට දුක හිතෙන නිසා. ගෙදර එනකම් හිත තද කරගෙන හිටියා. හරියට මගේ ඇඟෙන් කෑල්ලක් ගියා වගේ මහා පාළුවක් හිතට දැනෙනවා. සමහර විට මගේ ජීවිතේට ආපු පළමු දරුවා නිසා වෙන්න ඇති. ලොකු පාළුවක්, තනිකමක් දැනෙනවා.

වඩාත්ම කිට්ටු දිනක්ෂීද?

දරුවෝ තුන්දෙනාම එක වගේම කිට්ටු බැඳීමක් මට තියෙනවා. හැබැයි අනෙක් දෙන්නටම වඩා දිනක්ෂි හරිම සංවේදීයි. ගෙදර ඉන්නව නම් ඇඟේ දැවටි දැවටි කෑ ගගහ ඉන්නවා. ඒවා මතක් වෙනකොට පපුව පිච්චිලා යනවා. මොනවා කරන්නද දුවල හැදුවට අපිට අයිති නෑනේ.

ඇය ගෙදර ලොකු දුව විදිහට අම්මලාගේ නංගිලාගේ වගකීම් කරට ගත්ත දරුවෙක් ද?

ඇත්තටම ඔව්. ඇය තමයි අපේ ගෙදර දෙවැනි අම්මා. ගෙදර අවශ්‍යතා හැමදේම සොයලා බලලා කරනවා. ගෙදර කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. හරිම වගකීමෙන් වැඩ කරපු ජීවත් වෙච්ච දරුවෙක්. තාත්තට,‍ මට, නංගිලාට අසනීපයක් වුණත් ගෙදර අම්මා වගේ වෛද්‍යවරයා ළඟට එක්ක යන තැන ඉඳලා සියල්ල කරන්නේ එයා. ඒ වගේම ලොකු දුව කවදාවත් අනවශ්‍ය දේවල් කළේ නැහැ. ඉතුරුව, අරපිරිමැස්ම, ගුණයහපත්කමින් අක්කා විදිහට නංගිලාට ආදර්ශයක් වුණා නිතරම. අපේ පවුල ගොඩ ගත්තේ ඇය කිව්වොත් වඩාත් නිවැරදි. ගෙදර තාත්තගෙන් පස්සේ ශක්තිමත්ම කෙනා වුණේ දිනක්ෂි දුව. ගෙදර බර කරට ගත්තේ ඇය. අම්මා විදිහට මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද මගේ දුවට යන ඕනම තැනක සාර්ථකව ජීවිතේ ගෙනියන්න පුළුවන් ශක්තියක් තියනවා. දිනක්ෂි දුව විවාහ වෙන්න කලින් මටයි තාත්තටයි ඉතුරුම් තැන්පතු හදලා දුන්නා. ඒ වගේ අපේ ජීවිතේ ඉදිරිය ගැන ගොඩාක් හිතලා වැඩ කරපු කෙනෙක්…

දුවෙක්ට හොඳ සැමියෙක් ලැබෙන්න කියන දේ ඕනම අම්මෙකුගේ ප්‍රාර්ථනයක්?

මමත් හැමදාම ප්‍රාර්ථනා කළේ මගේ දරුවෝ තුන්දෙනාට තාත්තා වගේ ගුණයහපත්කම් තියෙන සැමියන් ලැබෙන්න කියලා. සාරංග පුතා ගුණයහපත්කම් ඉතාම ඉහළ දරුවෙක් විදිහට මමයි තාත්තයි දැක්කා. අපි සාරංග පුතාගේ ප්‍රශ්න ගැනත් දැනගෙන හිටියා. ඒවා නිරාකරණය කරගෙන සාරංගම තමයි දිනක්ෂි දුව ගැන අපෙන් ඇවිත් ඇහුවේ. මටත් වඩා තාත්තා එක පයින්ම කැමති වුණා. දෙපැත්තෙන්ම කැමැත්ත ලැබුණ නිසා තවත් වයස යවන්නේ මොකටද කියලා හිතලා ඒ විදිහට බොහොම චාමෙට අපි විවාහ උත්සවය කළා. එදා තාත්තගේ එක හීනෙකුත් සැබෑ වුණා.

මොකද්ද ඒ..?

අවුරුදු 32කට කලින් අපි දෙන්නා විවාහ වෙන දවසේ අත්සන් කරපු පෑනෙන්ම තමයි දිනක්ෂිත් විවාහය අත්සන් කළේ. අපි දෙන්නා විවහ වුණ දවසේ තාත්තා ඒක අරන් තිබ්බේ කවදහරි දරුවන්ටත් ඒ පෑනෙන් අත්සන් කරන්න දෙන්න ඕන කියලා. පෑනට මුකුත් වෙලා තිබුණේ නැහැ. අනිත් දෙන්නටත් ඒකම තියන්න ඕන කියලා පරිස්සම් කරලා ඒ පෑනම අරන් තිබ්බා.

ඉතින් දැන් අනිත් දුවලා දෙන්නත් මංගල ගමනට සුදානම් වෙනවද?

ශේෂාදිගේ නම් බොහෝ විට ලබන වසරේ මුල විවාහය සිද්ධ වේවී. ශනුද්‍රිට නම් මම කිව්වා අනේ ඔයා තව ටික දවසක් ඉන්න අපිට පාළුයි කියලා.

නදීශා අතුකෝරල විසින් “ඉරිදා ලංකාදීප” පුවත්පතේ “සඳැල්ල” අතිරේකයට ලියූ ලිපියකි.

Check Also

ඔබව පුදුමයට පත්කරන අමුතුම චායාරූප

අපගේ ජීවිතය විස්මයන්ගෙන් පිරී ඇති අතර. කිසිම දෙයකට ඔබව මවිතයට පත් කළ නොහැකි යැයි ඔබ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *