අර්තාපල් වලින් ලබාගත හැකි ඔබ හිතන්නෙවත් නැති ප්‍රයෝජන

සාමාන්‍යයෙන් අර්තාපල් අල විවිධ ක්‍රම වලට සකස් කරමින් ආහාරයට ගනු ලබනවා. රසවත් එළවළුවක් ලෙස ආහාරයට ගැනීමට අමතරව අර්තාපල් වලින් ලබාගත හැකි වෙනත් ප්‍රයෝජන තිබෙන බව ඔබ දැන සිටියේ නැහැ නේද?අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ රසවත් අර්තාපල් අල වලින් එදිනෙදා ජීවිතයේදී ලබාගත හැකි වෙනත් ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

01. ලෙහෙසියෙන් සහ ඉක්මනින් මලකඩ ඉවත් කරගැනීමට

ලෝහ වලින් තනන ලද භාණ්ඩ ඉක්මනින් මල බැඳෙනවා. විශේෂයෙන්ම ආහාර පිසීමට යොදා ගන්නා frying pan, ජල කරාම, පිහි, හැඳි ගෑරුප්පු වගේ දේවල්වල පවා, ඉතාම ලෙහෙසියෙන් මලකඩ ඉවත් කරගැනීමට අර්තාපල් පාවිච්චි කරන්න පුළුවන්.

බේකිං සෝඩා, මේස ලුණු නැත්නම් පිඟන් සෝදන දියර ටිකක් ගන්න.

අර්තාපල් ගෙඩියක් ගෙන දෙකට කපාගන්න. එක කැබැල්ලක ඉහත අමුද්‍රව්‍ය තුනෙන් එකක් තෝරා ස්වල්පයක් ආලේප කර මල බැඳී ඇති පෘෂ්ටයේ හොඳින් අතුල්ලන්න. අර්තාපල් පෙති කපාගෙන ආයෙත් වතාවක් පෙර සිදු කල පරිදිම භාණ්ඩවල හොඳට අතුල්ලා පිරිසිදු කරන්න.

වතුරෙන් සෝදා හැර මතුපිට හොඳින් වියලීමට ඉඩ හරින්න. මලකඩ ඉවත් වී තිබෙන බව දැකගත හැකි වේවි.

02. පිලිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට

ඉර එළිය නිසා සිදුවන පිලිස්සුම් තුවාලවලට ප්‍රතිකාරකයක් වශයෙන් යොදා ගත හැකියි.

අර්තාපල් ගෙඩි 2 ක් විතර සෝදා පිරිසිදු කරගන්න. පෙති කපා හෝ ග්‍රේට් කර යුෂ සහිත තලපයක් ආකාරයට සකස් කරගන්න.

ගෝස් හෝ පුළුන් කැබලි ආධාරයෙන් අර්තාපල් යුෂ සම මත ගැල්වීම හෝ අල පෙති පිලිස්සී ඇති සම මත තියාගන්න.

විනාඩි 10-15 ක් විතර තියාගන්න. ඊට පසු සීතල වතුරෙන් සෝදා පිරිසිදු කරන්න.

උණුසුම් ජලයෙන් හෝ වෙනත් ක්‍රමයකට ඇති වූ පිලිස්සුම් තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා අර්තාපල් පෙති වශයෙන් පාවිච්චි කරනවාට වඩා යුෂ පාවිච්චි කිරීම වඩාත් යෝග්‍යයි. මක්නිසාද යත් පෙති වලින් වේදනාව ඉහල නැංවිය හැකියි.

අමු අර්තාපල් ගෙඩියක් ගෙන පෙර කි පරිදි යුෂ සහිත තලපයක් සකස් කරගෙන පිලිස්සුම් තුවාල මත ආලේප කර වේදනාව අඩු වන තෙක් තියන්න.

මෙයට විනාඩි 10 ක් නැත්නම් පැය කිහිපයක් ගත වී අවසන් වේවි. මේ නිසා ඉවසීමෙන් යුතුව මෙය කරන්න. අර්තාපල් දුඹුරු පාටට පරිවර්තනය වනවිට ඒවා අයින් කර නැවතත් අලුතින් ගල්වන්න.

ඇති වූ පිලිස්සුම් තුවාලය නැවුම් වන තරමට මෙමඟින් ඉක්මනට තුවාලය සුව කරගන්න පුළුවන්.

03. රෙදි වල පැල්ලම් යැවීමට

විවිධ රෙදි වර්ග වල තියෙන පැල්ලම් යවා ගන්නත් අර්තාපල් පාවිච්චි කරන්න පුළුවන්.

අමු අර්තාපල් ගෙඩි 2 ක් විතර ග්‍රේට් කර මිලි ලීටර් 500 ක විතර වතුර පුරවන ලද භාජනයකට එක්කරන්න.

ඊටපසු ග්‍රේට් කරගත් අර්තාපල් අයින් කර විනාඩි 10-15 ක් විතර එලෙසම වතුර තියෙන්න ඉඩ දෙන්න.

දැන්, ස්පොන්ජ් කැබල්ලක් ගෙන එම වතුරේ පොඟවා පැල්ලම් තියෙන රෙදිවල හොඳින් අතුල්ලන්න. පැල්ලම අයින් වූ පසු පිරිසිදු සීතල වතුරෙන් සෝදන්න.

බෙරි වර්ග, බීට් රූට් ඇතුළු ආහාරවලින් ඇතිවන කහට පැල්ලම් ඔයාගේ අත්වල ඉතිරි වෙලා තියෙනවානම් ඒවා අයින් කරගන්න අර්තාපල් භාගයක් ගෙන අත්වල හොඳට අතුල්ලන්න. එවිට ඔයාගේ අත් හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්.

04. ලෙදර් සපත්තුවලට පිරිසිදු හා දීප්තිමත් නව පෙනුමක් ලබා දීම

කාලයක් තිස්සේ පාවිච්චි කරන විට ලෙදර් නිෂ්පාදනට දුර්වර්ණ වීම, කිලිටි වීම හා ගෙවී ගිය ගතියක් ලැබෙනවා. මේ ආකාරයට පවතින ලෙදර් සපත්තු යථා තත්වයට පත්කරගැනීමට මෙය යොදා ගත හැකියි.

අමු අර්තාපල් ගෙඩියක් ගෙන දෙකට මැදින් කපා ලෙදර් සපත්තු මතුපිට හොඳින් අතුල්ලන්න. විනාඩි 5 ක් විතර මේ ආකාරයට තියන්න.

(සපත්තුව වටා matte ස්වභාවයෙන් යුක්ත දුර්වර්ණ බවක් ඇති වීමට ඉඩ ඇති අතර එය ප්‍රශ්නයක් කර ගන්න එපා)

අනතුරුව සපත්තු දෙක සිනිඳු වියළි රෙදි කැබැල්ලක් ගෙන සපත්තුවලට දිලිසෙන ගතිය ලැබෙන තෙක් හොඳින් පිසදමන්න.

05. කලු පාට වී ඇති රිදී භාණ්ඩ අලුත් කරගැනීම

කාලය ගත වනවාත් සමඟ රිදී භාණ්ඩ අඳුරු පැහැයක් ගෙන කලු වෙනවා. මෙසේ සිදු වීම ස්වභාවිකයි. ඒවා යථා තත්වයට පත් කර ගැනීමට මේ ක්‍රමය අනුගමනය කර බලන්න.

අර්තාපල් ගෙඩි දෙකක් ගෙන කැබලි වලට කපා තම්බන්න. තැම්බුණු පසු කැබලි අයින් කර වතුර පෙරා ගන්න.

දුර්වර්ණ වී ඇති රිදී පිඟන් ,හැඳි ගෑරුප්පු ආදිය එම වතුරට දමා පැයක් විතර පෙ‍ඟෙන්නට ඉඩ දෙන්න.

ඊටපසු, එම භාණ්ඩ එලියට ගෙන බුරුසුවකින් හොඳට මැද පිරිසිදු කරන්න.

පිරිසිදු වතුරෙන් සෝදා වියළි ටිෂූ වලින් පිසදමා වේලාගන්න.

06. කිහිළි ආශ්‍රිත අවපැහැ ගැන්වීම් ඉවත් කරගැනීම

මෙයට ගෙදරදීම කල හැකි සත්කාර 2 ක් පවතී.

ක්‍රමය1:

අර්තාපල් ගෙඩියක් ගෙන එය සෝදා පෙති කපන්න. විනාඩි 3 ක් විතර කිහිළි ආශ්‍රිතව ඒවා ආලේප කරන අතරතුර සම්බාහනය කරන්න. අල යුෂ සම මත ක්‍රියා කරන තෙක් පැය 1/2 ක් විතර තියෙන්න හරින්න. ඊටපසු කිහිළි පෙදෙස සීතල වතුරෙන් පිරිසිදු කරගෙන තුවායෙන් තෙතමාත්තු කරන්න.

ක්‍රමය 2:

අර්තාපල් ගෙඩියක් කැබලිවලට කපා කපා මෘදු ගතියක් ලැබෙන තෙක් බ්ලෙන්ඩ් කරන්න. පොඩි කරගත් අර්තාපල් මිශ්‍රණය කිහිළි වල ආලේප කර විනාඩි 10 ක් විතර තියන්න. ඊටපසු සිසිල් ජලයෙන් සෝදා පිරිදිදු කරගෙන තුවායකින් තෙතමාත්තු කරන්න.

ක්‍රම දෙකම සතියකට දෙවතාවක් බැගින් මාසයක් පමණ නොනවත්වා එක දිගට කළහොත් පැහැදිලි සහ වේගවත් ප්‍රතිඵල ලබා ගත හැකි වේවි.

07. ඔළුව කැක්කුම සමනය කිරීම

හිසරදයට වේදනා නාශක බෙහෙත් පෙති පාවිච්චි කිරීම එපා වෙලාද? එසේ නම් මෙම ස්වභාවික ද්‍රව්‍ය අඩංගු සත්කාරය කර බලන්න.

අමු අර්තාපල් ගෙඩියක් සෝදා පිරිසිදු කරගෙන පෙති කපන්න. ඒවා නළල මත තබා ‍නොවැටෙන ආකාරයට ගෝස් පටියක් නළල වටේට බඳින්න. ඇඳේ වැතිරගෙන ඇස් දෙක පියාගන්න. වේදනාව නැති වන තුරු මේ ආකාරයට සැහැල්ලුවෙන් ඉන්න.

08. නිරෝගී වීමට අර්තාපල් යුෂ පානය

අර්තාපල් වල විටමින් හා ඛනිජ පෝෂක ‍වර්ග රාශියක් අඩංගු වෙනවා: පොටෑසියම්, කැල්සියම්, පොස්ෆරස් හා විටමින් C කියන පෝෂ්‍ය පදාර්ථ මේ අතරින් ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නවා. ඒවා මඟින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වීමට අමතරව ශරීරයට තවත් සෞඛ්‍යය ප්‍රතිලාභ ‍රාශියක් අත්කර දෙනවා.

මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් පෙන්වා දී ඇති ආකාරයට අර්තාපල් තුල වණ (ulcers) හා පපුවේ දැවිල්ල (heartburn) සුව කරන එක් විශේෂ අණුවක් අන්තර්ගත වනවා. එමඟින් ආමාශය ඇතුලත බැක්ටීරියා වර්ධනය වළක්වන බව ඔවුන් සොයාගෙන ඇත. අර්තාපල් යුෂ මඟින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම, පිළිකා වර්ධන අවදානම අඩු කිරීම, මලබද්ධය සුව කිරීම හා ශරීරයේ බර අවම කිරීම යන සියල්ලටම දායක වෙනවා.

අර්තාපල් යුෂ පානය සකස් කර ගැනීම:

අර්තාපල් ගෙඩියක් සෝදා පිරිසිදු කරගෙන පොතු ඉවත් කරන්න. කැබලිවලට කපා ගැනීමෙන් අනතුරුව බ්ලෙන්ඩරයට දමා වතුර එකතු කර බ්ලෙන්ඩ් කරන්න. පෙරනයක් ආධාරයෙන් අර්තාපල් කොටස පෙරා ඉවත් කරගෙන යුෂ ලබාගැනීමට මිරිකන්න. ලෙමන් බිඳු කීපයක් මිශ්‍ර කර පානය කරන්න. අවශ්‍යනම් මේ සඳහා වෙනත් එළවළු කිහිපයක යුෂ එකතු කරගන්න පුළුවන්. (නිදසුන් : පිපිඤ්ඤා, කැරට්)

සමේ දිදුලන ස්වභාවය ඉහල නංවා ගැනීම සඳහා සත්කාරයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

අර්තාපල් කියන්නේ සමට ගොඩක් හොඳ සත්කාරයක්. ඒවායේ අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක ගුණ, විටමින් C හා පිෂ්ටය මඟින් සමට අත්‍යවශ්‍ය පෝෂක ‍රාශියක පෝෂණය ලබාදෙමින් සමේ තෙතමනය ඉහල නංවනවා.

09. සමට සත්කාර කිරීමට යොදා ගත හැකි ක්‍රම:

ඇස් වටා ඇති අඳුරු පැල්ලම් (dark circles) හා ඇස් යට සම එල්ලා වැ‍ටුණු ගතිය (eye bags) නැති කර ගැනීමට- අර්තාපල් පෙති 2 ක් ඇස් මත තබා විනාඩි 10-15 ක් තියාගෙන ඉන්න. ඊටපසු, සීතල වතුරෙන් මුහුණ සෝදන්න.

කුරුලෑ අයින් කර ගැනීමට- අමු අර්තාපල් පෙත්තක් ගෙන කුරුලෑ මත අතුල්ලා රාත්‍රිය පුරාවට සම මත තියෙන්න ඉඩ හරින්න. පසුදින උදේ අවදි වී මුහුණ පිරිසිදු කරන්න. ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන ක්ෂණික සත්කාරයක් නොවන නිසා අඛණ්ඩව සති කිහිපයක් හැමදාම කරන්න. ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබේවි.

අඳුරු ලප කැලැල් (dark spots) අයින් කරගැනීමට- පොතු ඉවත් කරන ලද අර්තාපල් ගෙඩියක් කැබලිවලට කපා බ්ලෙන්ඩ් කරන්න. එයින් ස්වල්පයක් මුහුණේ ආලේප කරමින් සම්බාහනය කරන්න. විනාඩි 5ක් විතර සම මත තබා සීතල වතුරෙන් මුහුණ සෝදන්න.

රතු පාට ගතිය එනම් blemishes සඳහා ප්‍රතිකර්මයක් වශයෙන්- ශීතල කල නැවුම් අර්තාපල් යුෂ වලින් මුහුණ සෝදන්න. වියලීමට ඉඩ දී පිරිසිදු රෙදි කඩකින් සම පිරිසිදු කරන්න.

කෘමි දෂ්ට කිරීම් හේතුවෙන් හටගන්නා තුවාල සුව කිරීමට- අමු අර්තාපල් කැබැල්ලක් ගෙන දෂ්ට කල ස්ථානයේ ආලේප කිරීමෙන් අනතුරුව සුළඟ මඟින් වියලීමට ඉඩ දෙන්න. මෙම සත්කාරය දවසකට කිහිප වරක් නැවත නැවත කරන්න.

සමේ තෙතමනය ආරක්ෂා කර සම ‍රැළි වැටීම වැලැක්වීමට- අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කර මී පැණි මේස හැන්දක් හා ඔලිව් ඔයිල් මේස හැඳි 2 ක් මිශ්‍ර කරන්න. සකස් කරගත් මිශ්‍රණය මුහුණේ ආලේප කිරීමෙන් අනතුරුව විනාඩි 10 ක් විතර තියන්න. සීතල වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරන්න.

තෙල් සහිත සමකට ප්‍රතිකර්මයක් වශයෙන්- පොතු ඉවත් කල අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කරන්න. රෝස වතුර ටිකක් සහ ලෙමන් යුෂ තේ හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. මාස්ක් එකක් විදියට මුහුණේ ආලේප කර විනාඩි 15-20 ක් විතර තියන්න. ඉන්පසු මුහුණ සෝදා පිරිසිදු කරගෙන සම වියළෙන තෙක් තුවායකින් තෙතමාත්තු කරන්න.

10. ඇස් කණ්ණාඩිවල වාෂ්ප බැඳීම වැලැක්වීමට

අර්තාපල් ගෙඩියක් ගෙන මැදින් කපා එක් කැබැල්ලක් කණ්ණාඩිය මතුපිට අතුල්ලන්න. ඊටපසු, සිනිඳු වියළි රෙදි කැබැල්ලකින් පිස දමන්න.
11. ජනෙල් වීදුරු හොඳින් පිරිසිදු කිරීමට

ජනෙල් වීදුරු මත අර්තාපල් බෑයක් අතුල්ලා වියළි රෙදි කඩකින් පිසදමන්න. රසායනික ද්‍රව්‍ය භාවිත නොකර ලෙහෙසියෙන්ම වඩාත් හොඳින් ජනෙල් පිරිසිදු කර ගැනීමට ඔයාට පුළුවන්!

12. උණුසුම් හා ශීතල වෙළුම් (compresses) සකසා ගැනීමට

මෙමඟින් මාංශ පේශී වල සහ කෙණ්ඩා පෙරළීම් හේතුවෙන් ඇති වන වේදනා සමනය කිරීම, රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, තුවාල මඟින් ඇතිවන ශාරීරික වේදනා කැක්කුම් ‍රාශියක් මැඩලීමට යොදා ගත හැකියි. උණුසුම් හා ශීතල පොට්ටනිවලට අර්තාපල් පාවිච්චි කරන්න පුළුවන්.

ශීතල අර්තාපල් ටිකක් ගෙන තුවාල මත ගල්වා ගෝස් පටියක් ආධාරයෙන් ආවරණය කරගන්න. ඒ මඟින් තුවාලයේ වේදනාව සහ කැක්කුම අවම කරගන්න පුළුවන්.

අර්තාපල් ගෙඩියක් තම්බන්න, එහෙම නැත්නම් බේක් කරන්න. රෙදි කඩක බහාලමින් පොට්ටනියක් ආකාරයට සකස් කර උණුසුම් වෙළුවක් පිළියෙළ කරගන්න. හෙමිහිට තට්‍ටු කරමින් සම මත උණුවෙන් සම්බාහනයක් කරගන්න. අර්තාපල් වලින් තාපය පිට වීමට ඉඩ නොදී රන්දවගන්නා බැවින් දීර්ඝ වේලාවක් මෙම වෙළුමේ රස්නය ගතිය පවතිනවා.

13. DIY විවිධ අක්ෂර හැඩයේ සීල් කපා විනෝදාත්මක සැරසිලි නිර්මාණය

මෙය කුඩා ළමුන්ට චිත්‍ර නිර්මාණ කිරීමට උපකාරී වන අපූරු අදහසක්. ඔයාට ඕනි වෙන්නේ අර්තාපල් ගෙඩියක්, පිහියක් හා විවිධ පාටවල තීන්ත. අක්ෂර විතරක් නෙවෙයි ඔයා කැමති නිර්මාණාත්ම කැටයම් කරලා stamp art එකක් හදාගන්නත් පුළුවන්.

අර්තාපල් වලින් සකස් කරගත් අච්චුව තීන්ත වල පොඟවා, නොයෙකුත් රටා මවමින් නිර්මාණශීලි අපූරු විසිතුරු චිත්‍රයක්, කාඩ් එකක් නිර්මාණය කරගන්න පොඩි අයට පුළුවන්.ඇඳුම්, කොට්ට උර යනාදිය අලංකාර මෝස්තර වලින් හැඩ කරගන්නත් ඔයාට හැකි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *