උණට බෙහෙත් ගන්න විතරක් නෙමෙයි, – වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන

නවගමුව රජයේ රෝහලේ මම සේවය කරන්නෙ. එය ප්‍රාදේශීය රෝහලක්. වෙනදාට වඩා අද මෙතැන කාර්ය බහුලයි. කොරෝනා වසංගතය නිසා නොවෙයි. සාමාන්‍ය උණක්, කැස්සක් හැදුනත් මිනිස්සු එන්නෙ මෙතැනට. ඒ එන රෝගීන්ගෙන් අපේ රෝහල් කාර්ය මඬුල්ල ආරක්ෂා කර ගන්න වෙනවා. ඒ නිසා වෙනදාට වඩා රාජකාරි කටයුතු සහ අපි ක්‍රියාත්මක වන විදිය එක්ක ටිකක් සංකීර්ණ තත්ත්වයක් තිබෙන්නෙ.

වෙනදාට වඩා අපි විශේෂ ඇඳුම් අඳින්න ඕනෑ. සනීපාරක්ෂක ක්‍රම භාවිතා කරන්නට ඕනෑ. බාහිර ආවරණ ඇඳුම පොලිතින් යොදා නිපදවුවක්. පැය විසි හතරම එය ඇඳගෙන ඉන්න ලෙහෙසි දෙයක් නොවෙයි. මාක්ස්, අත්ආවරණ, දිගටම දාගෙන හිටියාම ආසාත්මිකතා පවා ඇති වෙනවා. මේ වෙලාවෙ කොරෝනා සඳහා අනෙක් රෝහල් වෙන් කර තිබෙන නිසා අපේ රෝහලට තමයි සාමාන්‍ය අසනීප ඇති වෙච්ච රෝගීන් එන්නෙ. මෙහෙම පැමිණෙන රෝගීන් වෙනුවෙන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එක් රෝගියකු සඳහා වැඩිපුර කාලයක් වැය කරන්න වෙනවා. මේ දිනවල රාත්‍රී වැඩ මුරයක් කරන්න වෙනවා. හවස 4 ට ගියාම පසුදා උදෑසන 8 වෙනකල්. වෙනදාට වඩා රාත්‍රියටත් රෝගීන් පැමිණෙනවා. සමහර අය එක එක්කෙනා කියන විදියට කැඳ වර්ග බීලා, දුම් අල්ලලා, එක්කො හුස්ම ගන්න බැහැ කියයි. එවැනි දේ වෛද්‍ය උපදෙස්මත කිරීම හැර තමුන්ට හිතෙන හිතෙන විදියට කිරීම හොඳ දෙයක් නොවෙයි. ඒ වගේම තවත් වැඩි දෙනා එන්නෙ පවුල් ආරවුල් නිසා අඬ දබර වූ නිසයි. සැමියා බිරිඳට පහර දීලා. එක්කෝ බිරිඳ සැමියාට පහර දීලා. මොන විදියට වුණත් දෙන්නාගෙන් එක් කෙනෙක් රෝහලේ. එක්කෙනෙක් පොලිසියෙ. මේ මොහොතේ මම ඒ වගේ අයගෙන් ආයාචනය කරන්නෙ ගෙවල්වල සිටින අසරණ ළමයි මේ නිසා අසරණ කරන්න එපා කියලයි.

දොස්තර නෝනාගෙ කලා කටයුතු මේ දිනවල මොන වගේද?

කල් ක්ෂේත්‍රයේ වැඩ කීපයක්ම කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. චිත්‍රපටයක රඟපෑමට ලැබුණු ආරධනාව බාරගත්තා. එය ඉතිහාසය අලලා කරන නිර්මාණයක්. වසංගත තත්ත්වය නිසා එහි වැඩ කටයුතු දින නියමයක් නැතිව කල් ගිහින් තියෙන්නෙ. මට එහි ප්‍රධාන චරිතයක් ලැබී තිබෙන්නෙ.

එය ඔබගේ ප්‍රථම රඟපෑමද?

ඔව්. අප්‍රේල් මාසයේදී රූගත කිරීම් කරන්නයි අපි ප්ලෑන් කරගෙන හිටියෙ. ඒත් දැන් නැවතත් මුල ඉඳලාම එහි වැඩ සැලසුම් කරන්න වෙලා.

ගීත ගායනය කොහොමද?

බොදු බැති ගී දොළහක් විතර මේ දක්වා ගයලා තියෙනවා. මුලින්ම කළේ යශෝධරා ගීතය. ඉන්පසුව පෙරුම් පුරා එන මේ සසරේ ගීතය ගැයුවා. මේ වන විට ඒ ගීත ප්‍රචාරයට සලස්වලා තියෙන්නෙ.

ඔබ ගයන්න බොදු බැති ගී විතරද?

අනෙකුත් තේමා යටතේ ගීත ගයනවා. මගේ පරමාර්ථය වුණේ මුලින්ම බොදු බැති ගී කීපයක් ගයලා මුදා හරින්නයි. ළඟදීම CD පටයක් මගින් බොදු ගීත එකතුව එළි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. බුද්ධාගම, එක්ක මව් ගුණ, පිය ගුණ, සහ පවුල, කියන සංකල්ප තේමා කරගෙන ගී ගැයීමට මට ආසයි.

ඒ හැර කලාවේ වෙන මොනවද කරන්නෙ.?

බ්‍රිටිෂ් එම්පයර් ලෝක රෑ රැජිණ කිරුළ සඳහා තරගය මෙහිදී පවත්වන්න සියලු කටයුතු සුදානම් කරලා තිබුණෙ. ඒත් දැන් මේ තත්ත්වය නිසා එම ඉසව්වත් කල් දැම්මා. රූ රැජිණ තරගයක් මෙවැනි වාතාවරණයකදි කොහෙත්ම පවත්වන්න බැහැ. එය ලොකු අවදානමක්. මෙවැනි තරගයකදි ලෝකය නියෝජනය කරන වෙනත් රටවල තරගකාරියන් සහ නියෝජිතයන්ට මේ තත්ත්වය මත පැමිණෙන්නට බැහැ.

කලාවට බර මේ වෛද්‍ය තුමියගේ දවස ගෙවෙන්නෙ මොන විදියටද

මේ දිනවල නම් රෝහල සහ නිවස විතරයි. රෝහලට යනවා. රාජකාරි කරනවා. ගෙදර එනවා. මම සමාජ සේවා වැඩ වලට බොහෝම ආසයි. ඒත් වෙනදා වගේ මේ දිනවල සමාජසේවා වැඩ ටික සුපුරුදු පරිදි කරන්න විදිහක් නැහැ. මේ කෙරෝනා තත්ත්වය නිසා අද අම්මා තාත්තාත් මා ළඟ නැහැ. මගේ සහායට සිටින අය එක්ක දවස ගෙවනවා. කොහොම වුණත් අද වෙනදාටත් වඩා කාර්ය බහුල වෙලා ඉන්න නිතරම රාජකාරියට වාර්තා කරන නිසයි. රාජකාරියට ගිහින් ගෙදර ආවාම එක්වරම නිවසට ඇතුළු වන්නෙ නැහැ. විෂ බීජහරණය කරගෙන නාලා පිරිසිදු වෙලා රථය පවා හෝදලා ගෙදරට එන්නෙ. ඒ නිසා මේ දිනවල ගෙවන ජීවිතය හරිම අසීරුයි.

ලැබෙන විවේකයේදී පොත් කියවීම සහ චිත්‍රපට නැරඹීම කරනවා. නීති විෂයට මම හරි ආසයි. ඒ ගැනත් පොත පත කියවනවා.

නිති උපාධියක් ගන්න වගේ හදන්නෙ.
එහෙම අදහසකුත් නැත්තෙම නැහැ.

 

මේ ලස්සන දොස්තර නෝනාගේ ආදරය ප්‍රේමය ගැනත් කියමු.

ආදරය ජීවිතයට ඕනෑමයි. ඒ වගේම ආදරය විවිධාකාරයි. මව පියා සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ආදරය වෙනස්. ප්‍රේම වන්තයකුගේ ආදරය බලාපොරොත්තු වෙන කාලයක් මේ. ඒත් තවම එහෙම දෙයක් නැහැ. කොයි හැටි වෙතත් දැන් ඒ ගැන අවසාන තීරණයකට එළැඹෙන්න කාලය ඇවිත්.

 

සඳුන් ගමගේ
ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *