ඒ ආදරේ මරු, කියන්න වචන නැහැ - Nonimi

ඒ ආදරේ මරු, කියන්න වචන නැහැ

මෙවර ‘සුබ උපන්දිනක්’ විශේෂාංගයෙන්  එකතුවන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රය ආලෝකමත් කිරීමට රංගනයෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් ආදරණීය චරිතයක්. නිරන්තරයෙන්ම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින ඇය නමින් නිරංජනී ෂම්මුගරාජා.

• අවුරුද්දෙන් අවුරුද්ද ගතවෙලා උපන්දිනයක් ලබද්දී හිතට දැනෙන්නෙ කොයිවගේ හැඟීමක්ද?

ඇත්තටම පළවෙනිම දේ තමයි අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා උපන්දින කීයක් ආවත් මම වයසට යනවා කියලා මට දැනෙන්නෙ නැහැ. කොහොමත් අපි අපේ මනස නැවුම්ව තියාගන්න ඕනෑ. ඒ නිසා උපන්දිනයක් ලබන හැම වතාවකම මම හිතන්නෙ මගේ ජීවිතේ හොඳ විදියට දකින්න තව අලුත් අවුරුද්දක් ආරම්භ කළා කියලා. මෙවර මට ලබන්නෙ 32 වැනි උපන්දිනය. ඉතින් මට ස්වභාව ධර්මයේ ආශිර්වාදය එක්ක දෙවියො තව අවුරුද්දක් ලබාදෙනවා ඉදිරියට යන්න සහ ජීවිතේ අලුත් විදියට බලන්න, දකින්න. ඒ දේ තමයි මට දැනෙන හැඟීම.

• නිරංජනීගෙ උපත ගැන මොනවද දන්නා විස්තර?

මගේ උපත සිද්ධවෙන්නෙ 1989 වසරේ අගෝස්තු 19. පවුලේ දෙවනි දරුවා මම. මට වැඩිමල් සහෝදරියක් ඉන්නෙ. මම ඉපදෙද්දි මගේ තාත්තා මගේ ළඟ හිටියෙ නැහැ. තාත්තාව මම දැකලාවත් නැහැ. මම ඉපදුණු මොහොතෙදි වෛද්‍යවරයා මාව භාරදීලා තියෙන්නෙත් මගේ අම්මගේ නංගිට. ඉතින් අදටත් අම්මා කියලා කතා කරන්නෙ ඇයට තමයි. මොකද මගේ අම්මා, තාත්තා වුණේ පුංචි සහ බාප්පා. මගේම අම්මාට මම කතා කරන්නෙ ‘මමී’ කියලා. මොනදේ වුණත් බැඳීම කියන දේ එහෙමනෙ. වැදුවා පමණින්ම බැඳීමක් ඇතිවෙන්නෙ නැහැ. අදටත් පුංචි කියන්නෙ උඹ ඉපදුණේ අම්මාගේ බඩේ විතරයි. උප්පැන්න සහතිකේ අම්මගේ, තාත්තාගේ නම විතරයි තියෙන්නෙ. උපන් දවසේ ඉඳන් අතට අරන් උරහිසේ තියාගෙන ඉන්නෙ මමයි කියලා.

• පුංචි කාලෙ උපන්දින සැමරීම් සිදුකරලා තියෙනවද?

විශේෂ විදියට හැම අවුරුද්දම නම් සමරලා නැහැ. මොකද අපි හැදුණෙ ගම්වල. නුවර, කුණ්ඩසාලෙ, බලගොල්ල මගේ ගම. අපි මධ්‍යපාන්තික පවුලක්. ඉතින් පවුල් පසුබිම, ආර්ථිකය ඒ හැමදේම එක්ක ඉහළ විදියට උපන්දින සමරන්න ලැබුණෙ නැහැ. ඉඳලා හිටලා ලොකු කේක් එකක් ගෙනල්ලා කපනවා. ඒ දවස්වල ලොකු විශේෂත්වයකුත් තියෙනවා. මොකද මගේ උපන්දිනයත්, අක්කගේ උපන්දිනයත් එකම ළඟ දවස් දෙකක. ඉතින් දෙන්නම එකතුවෙලා එක කේක් එකම කපනවා. වෙලාවකට දෙන්නා රණ්ඩුත් වෙනවා මුලින්ම කේක් කපන්න. පුංචි කාලෙ ඒ දේවල් තමයි මතක. ඒ වගේම පාසල් කාලෙදිත් මට මතකයි යාළුවො එක්ක එකතුවෙලා ඒ දවස ගත කළා. ඒ කාලෙදි ඉතින් යාළුවන්ගෙන් පුංචි පුංචි තෑගි එහෙමත් ලැබුණා. යාළුවො පුංචි සුබපැතුම්පත් නිර්මාණය කරලා දුන්නා. ඒ කාලෙ ඉතින් උපන්දිනය දවසට ටොෆියක් ලැබුණත් ඒකත් මාරම වටිනවනෙ. හරි සුන්දරයි ඉතින්.

• කාලෙ ගෙවීගිහින් අද නිරංජනී ශම්මුගරාජා කියන්නෙ රටක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඉතින් දැන් පෙරට වඩා උපන්දිනය වෙනුවෙන් විශාල සුබපැතුම් සංඛ්‍යාවක් එකතුවෙනවා ඇති?

අම්මෝ අනිවාර්යයෙන්ම. ඒ ආදරේ මරු. කියන්න වචන නැහැ. මොකද මම කොහෙදෝ ගමක ඉපදිලා මේ සමාජෙට ඇවිල්ලා අද වෙද්දි රංගන ශිල්පිනයක් ලෙස අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් ලබාගන්නවා. ඉතින් මම හිතන්නෙ මේ මම උපතින් ලබපු එක්තරා ජයග්‍රහණයක්. ලංකාවෙ දෙමළ කෙල්ලෙක් විදියට උපත ලබලා නොහිතපු විදියෙ ආදරයක් ලබනවා. අගෝස්තු 19 වෙනිදා රාත්‍රී 12 ලබපු ගමන් අති විශාල සුබපැතුම් සංඛ්‍යාවක් එකතුවෙනවා. ජංගම දුරකථනයට ඇමතුම්, කෙටි පණිවිඩ හැමදේම. ෆේස්බුක්, වට්ස්අප් හරහාත් ඒ ආදරය ආශිර්වාදය විශාල ලෙස එකතුවෙනවා. මගේ උපතත් එක්ක පවුලෙ අය ඒ කාලෙදි හිතන්නවත් නැතිව ඇති ලංකාවම වගේ ආදරය කරන මෙවැනි චරිතයක් වෙයි කියලා. ඉතින් මට අද මේ ලැබිලා තියෙන වටිනාකම ආදරය ගැන ගොඩක්ම සතුටුයි.

ඒ නිසා උපන්දිනය කියන්නෙ නිකම්ම කේක් එකක් කපලා සමරලා අවසන් කරන්න ඕනෑ දෙයක් නෙමෙයි. ඊටත් වඩා ලොකු දෙයක් අපේ ජීවිතේට, සමාජෙට, ලෝකෙට එකතු කරන්න පුළුවන් විශේෂ දවසක් කියලා මට හිතෙන්නෙ.

• ගෙදරට තෑගි භෝග එහෙමත් ලැබෙනවා ඇති?

ඔව්. ඇත්තටම තෑගි භෝග, මල් පොකුරු, කේක් හැමදේම ඒ දවසට එකතුවෙනවා. අපි පුංචි කාලෙ හැම අවුරුද්දෙම කේක් කපලා සමරපු අය නෙමෙයි. ඒ දවසට හැමදාම අලුත් ඇඳුමක් එහෙම ලැබුණෙත් නැහැ. ඉතින් අද වෙද්දි මට ඒ හැමදේම ලැබෙනවා. ලංකාව පුරා කොහේ හෝ තැනක සිට ඒ තෑගි භෝග එවන පිරිසක් ඉන්නවා. ඒ වගේම මගේ යාළුවො මාව සප්‍රයිස් කරනවා. වතාවන් කිහිපයකම උපන්දිනය වෙනුවෙන් හිතන්නවත් බැරි සිදුවීම් කිහිපයකටත් මුහුණදෙන්න සිදුවුණා.

• ඒ සප්‍රයිස් ගැනත් මතකය අවදි කරමු?

ගිය අවුරුද්දෙ මගෙ 31 වැනි උපන්දිනය වෙනුවෙන් මගේ යාළුවො එකතුවෙලා ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නා. ගිය අවුරුද්දෙත් කොරෝනා කාලෙනෙ. නමුත් මගේ උපන්දිනය දවස්වල රට සාමාන්‍ය තත්ත්වයකට ආවනෙ. ඉතින් එදා අගෝස්තු 18 රෑ මම ලොතරැයියෙ ඒ නිවේදන කටයුතු අවසන් කරලා ගෙදර ආවා. ඒ ආපු මොහොතෙදි මුළු ගෙදරම යාළුවන්ගෙන් පිරිලා. හරියටම 19 දවස ලබද්දිම කේක් අතේ තියාගෙන ඔක්කොම ‘හැපි බර්ත් ඩේ’ කියලා කෑගහලා කියන්න ගත්තා. ඇත්තටම මට හිතාගන්න බැරිවුණා මොකද මේ වුණේ කියලා මට කෑ ගැස්සුනා ඒ මොහොතෙදි. එදා ඇත්තටම මගේ ගෙදර සංහිඳියාවක් දකින්න තිබුණා. මොකද බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු මේ ආගම් හතරෙම යාළුවො ගෙදර පිරිලා. ඒ අවස්ථාව මගේ ජීවිතේ මතකයේ රැඳෙනම දවසක්. අවුරුදු 31 ලැබුව මොහොත අමතක කරන්නම බැහැ. කේක් කපලා, කාලා ගොඩක් විනෝද වුණා ඒ දවසෙ මගේ ආදරණීයයන් එක්ක.

• රූගතකිරීම් අතරතුර වගේ එවැනි සිදුවීම් වෙලා නැද්ද?

අම්මෝ වෙලා තියෙනවා. එක වතාවක් 2014 වසරෙ රූගත කිරීමක් අතරතුර උපන්දිනයක් සැමරුවා. ‘රතු සමණල සිහිනයක්’ චිත්‍රපටයෙ රූගත කිරීම් අතරෙ. එදා මගේ උපන්දිනය දවසෙ රූගත කිරීම් සියල්ල අවසන් වුණා. නමුත් එහි අධ්‍යක්ෂවරයා ප්‍රියන්ත කළුආරච්චි මහත්මයා කිව්වා තව දර්ශනයක් තියෙනවා ගන්න අපට අතපසු වුණු ඒ දර්ශනයට අවශ්‍ය රංගනයන් මේ විදියයි කියලා මට කාමරයක දොර ඇරගෙන ඇතුලට එන සිදුවීමක් තියෙන්නෙ ඒ රූගත කිරීම කරන්න කිව්වා. මමත් ඉතින් ඇක්ෂන් කියද්දි දොර ඇරගෙන ඇතුළට ගියා. ඒ යද්දි අපේ ඒ කණ්ඩායමේ හැමදෙනාම කේක් අරගෙන, තෑගි අරගෙන කෑ ගහගෙන සුබ පැතුවා. මට හිතාගන්නම බැරි අවස්ථාවක් ඇත්තටම. පුංචි පුංචි තෑගි ගොඩයි. චොකලට්, බූන්දි, පැණි රස කෑම එහෙමත් ඒ අතර තිබුණා. ඒ අවස්ථාවත් හරිම සුන්දර මොහොතක් මාව ගොඩක්ම සංවේදී කරපු. ඒත් එක්කම සුනාමි චිත්‍රපටයේ රංගන කටයුතු කරන අවස්ථාවෙත් උපන්දිනය යෙදුණා. එහිදී මගේ උපන්දිනයත් දර්ශන් ධර්මරාජ් අයියාගේ විවාහ සංවත්සරයත් යෙදිලා තිබුණා ඒ දවසට. එදා දවසෙ රූගත කිරීම් සිදුවුණේ මහාධිකරණයේ. මහාධිකරණයට එන්නෙ මිනිසුන්ගෙ ප්‍රශ්න, දුක කියනදේ එක්ක. ඒවා විසඳගන්නනෙ. නමුත් ඉතින් එහිදී මගේ උපන්දිනයෙ සැමරීමක් සිදුවුණා රූගත කිරීම් අතරතුරදී. මම හිතන්නෙ ලංකාවෙ මහාධිකරණයේ උපන්දිනය සමරපු ලංකාවෙ පළවෙනි නිළිය මම වෙන්න ඇති. ඒ මොහොතෙ සෝමරත්න දිසානායක මහත්මයාත් රේණුකා බාලසූරිය මහත්මියත් සම්බන්ධවෙලා හිටියා. ඒ දවසත් හරිම ආදරණීය මතකයන් අතරින් එකක්.

• නිරංජනීගේ ආගම, දහම අනුව විශේෂ දවස්වලට සාමාන්‍යයෙන් මොකද කරන්නෙ?

උපන්දිනය වගේ දවසට අපි කරන්නෙ උදෙන්ම නාලා කෝවිලට යනවා. ඒ ගිහින් අපේ හඳහනට අනුව අපිට තියෙනවනෙ නව අංශක, ලග්න. ඉතින් ඒවා කියවලා තමන්ගේ නමින් දෙවියන්ට පූජාවක් තියෙනවා. ඒවගෙන් පසුව මම නම් සාමාන්‍යයෙන් කරන්නෙ සිඟමන් යදින්නන්ට හෝ ආර්ථික අපහසුවෙන් පෙළෙන අසරණයෙකුට කෑමවේලක් ලබාදීම. ගොඩක් දෙනෙක් අද බත් පාර්සල්නෙ ලබාදෙන්නෙ. නමුත් මම දෙන්නෙ ඊට වෙනස් දෙයක්. ඒ ඉඳිආප්ප, පරාටා, තෝසේ, උළුඳු වඩේ වගේ කෑම පාර්සලයක් එක්ක පැණි රස කෑමක්. ඉතින් ඒ පාර්සලයක් දීලා මම කියනවා අද මගේ උපන්දිනය ඒ වෙනුවෙන් සුබ පතන්න කියලා. මම විශ්වාස කරන දෙයක් තමයි අසරණ මිනිසුන්ගෙ සිනහවෙන් දෙවියන් දකින්න පුළුවන් කියලා. ඉතින් මම එවැනි වැඩ කටයුත්තක් කරලා තමයි ඒ දවස ආරම්භ කරන්නෙ. ඒ තුළින් දවසම ආලෝකමත් වෙනවා. ඒ සතුට ආශිර්වාදයට පසුව තමයි යාළුවො එක්ක ඒ දවස ගත කරන්නෙ.

ධනු විජේරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *