ඔබ පවුලේ කී වැනි දරුවාද?

ඔබ අසා තිබෙනවාද සෑම පවුලකම වැඩිමහල් දරුවා ඉතාම වගකීම් සහගත බවත්, බාල දරුවන් එසේ නැති බවත්, සහෝදර සහෝදරියන් නැති පවුලේ එකම ළමයා නම් එවන් අය තරමක් හිතුවක්කාර, ආත්මාර්ථකාමී අය බවත් මිනිසුන් කියනවා? අනිවාර්යයෙන්ම ඔබ අසා ඇති. එය හුදෙක් මිනිසුන් අතර පවතින මතයක් ද? එහෙමත් නැත්නම් ඇත්තෙන්ම උපන් පිළිවෙල කෙනෙකුගේ පෞරුෂත්වයට බලපෑමක් කළ හැකි ද? අපි මේ ලිපියෙන් ඒ ගැන සොයා බලමු. උපන් පිළිවෙල සම්බන්ධ සිද්ධාන්තය මුලින්ම ආරම්භ කලේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මිතුරකු හා සමකාලීනයකු වන ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් විසින් 1920 දශකයේදීයි. ඔහු විශ්වාස කලා කෙනකු පවුලේ උපත ලබන අනුපිළිවෙල ඔහුගේ පෞරුෂත්වයට බලපෑමක් කළ හැකි බව.

01. පළමු(වැඩිමහල්) දරුවා – ඇඩ්ලර්ට අනුව, වැඩිමහල් දරුවා ගතානුගතික, බලයට සහ නායකත්වයට නැඹුරු අය වේ. ඔවුන් බොහෝ විට තම බාල සහෝදර සහෝදරියන් පිළිබඳ වගකීම භාරගන්නා නිසා, කුලුඳුල් දරුවන් සැලකිලිමත්, දෙමව්පියන් වීමට වැඩි කැමැත්තක් දක්වන, ඕනෑම දෙයකදී මූලිකත්වය ගැනීමට වැඩි ඉඩක් ඇති පුද්ගලයන් වෙනවා.

02. දෙවන(මැද) දරුවා – වැඩිමහල් සහෝදරයා හෝ සහෝදරිය දෙවන දරුවා සඳහා “වේග නිර්ණය කරන්නෙකු” වන නිසා ඔවුන් බොහෝ විට තම වැඩිමහල් සහෝදරයා අභිබවා යාමට වෙහෙසෙනවා. මොවුන්ගේ සංවර්ධනයේ වේගය වැඩියි. පවුලක මැද ළමයින් බොහෝ විට අභිලාෂකාමී, බලාපොරොත්තු සහගත අය විය හැකි වුනත් ඔවුන් ආත්මාර්ථකාමී වෙන්නේ ඉතාම කලාතුරකින්. ඔවුන් තමන් වෙනුවෙන් හේතුවක් නොමැති ලෙස ඉහළ ඉලක්ක හා අරමුණු තබා ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. මෙය ඔවුන්ගේ ජිවිතයේ අසාර්ථකත්වයන් හා බිඳ වැටීම් ගණන වැඩි කලත්, ජීවිතයේ දුෂ්කරතා සමඟ කටයුතු කිරීමට හැකි ලෙස ඔවුන් ශක්තිමත් වෙන්නේද ඒවා නිසයි.

03. බාල දරුවා – සාමාන්‍යයෙන් බාලම දරුවා දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් විශාල සැලකිල්ලක්, ආදරයක් සහ අවධානයක් ලබා ගන්නවා. ඔවුන්ට අත්දැකීම් අඩු සහ ස්වාධීන බවක් දැනෙන්නේ ඒ නිසයි. කොහොම වුනත්, බාල දරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ වැඩිමහල් සහෝදරියන් හා සහෝදරයන් අභිබවා යාමට නිතර පෙළඹෙනවා. බොහෝ විට ඔවුන් විශාල සාර්ථකත්වයක් අත්කර ගන්නා අතරම ඔවුන් තෝරාගන්න ක්ෂේත්‍රය කුමක් උනත් එහි විශාල පිළිගැනීමක් ලබා ගන්නා අයයි. වේගවත්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, හොඳම සංගීතඥයන් හෝ වඩාත්ම දක්ෂ කලාකරුවන් බවට පත් වන්නේ බොහෝවිට පවුලක බාලම දරුවායි. පවුලක බාලම දරුවන් ඉතා සමාජශීලී අය උනත් අනෙක් සහෝදර සහෝදරියන්ට වඩා නිදහස්, මුරණ්ඩු සහ නොසැලකිලිමත් අයයි.

04. පවුලක තනි දරුවා – තරඟ කිරීමට සහෝදර සහෝදරියන් නොමැති නිසා එකම දරුවා බොහෝ විට තම පියා සමඟ තරඟ කිරීමටයි පෙළඹෙන්නේ. දෙමව්පියන් විසින් ඕනෑවට වඩා සුරතල් කරන නිසා, තනි ළමයෙක් අනිත් පුද්ගලයන්ගෙනුත් සුරතල් කිරීම සහ ආරක්ෂාව අපේක්ෂා කරනවා. අන් අය මත යැපීම සහ ආත්මාර්ථකාමිත්වය මෙම ජීවන රටාවේ ප්‍රමුඛ ගුණාංගයි. එකම දරුවාට බොහෝ විට සම වයසේ මිතුරන් සමඟ කටයුතු කිරීමට අපහසුයි. සහෝදර සහෝදරියන් නොමැති බොහෝ දරුවන් පරිපූර්ණත්වය නිතරම අපේක්ෂා කරන අතර, ඔවුන් මොන දේ වුවත් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නැඹුරු වෙනවා.

උපන් පිළිවෙල IQ අගයට බලපාන්නේ කොහොමද?

ඔබ සහ ඔබේ සහෝදර සහෝදරියන් ඉපදුණු අනුපිළිවෙල ඔබේ පෞරුෂයට සහ IQ මට්ටමට බලපාන බව කියැවෙන සිද්ධාන්තය මෑතකදී ඉතා ජනප්‍රිය වුනා. කොහොම වුනත්, එය පර්යේෂකයන් අතර තරමක බෙදීමක් ඇති කිරීමට සමත් වෙලා තිබෙනවා. සමහරු මේ න්‍යාය මුළුමනින්ම බැහැර කරන අතර තවත් සමහරු එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව විශ්වාස කරනවා. ජර්මනියේ ලයිප්සිග් සහ ජොහැන්නස් ගුටන්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජර්මනියේ වැඩිහිටියන් 20,000 කට වැඩි ප්‍රමාණයක් මේ වෙනුවෙන් අධ්‍යයනය කලා. ඔවුන් පවුල් තුළ සිටින සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ උපන් පිළිවෙල සංසන්දනය කලා.
ඒ අනූව පවුලක වැඩිහිටි දරුවන් සාමාන්‍යයෙන් බුද්ධි පරීක්ෂණවල ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන බව ඔවුන් සොයා ගත්තා. නමුත් විද්‍යාඥයන් චිත්තවේගීය ස්ථායිතාව සහ පරිකල්පනය කෙරෙහි උපත් අනුපිළිවෙලෙහි සම්බන්ධතාවයක් සොයා ගත්තේ නැහැ.

උපන් පිළිවෙල පෞරුෂත්වයට බලපාන්නේ කොහොමද?

උපත් පිළිවෙල කෙනෙකුගේ පෞරුෂයට බලපාන බවට තවත් අධ්‍යයනයක් තවත් සාක්ෂි සපයනවා. පර්යේෂකයෝ ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ උසස් පාසැල් සිසුන් 377,000කගේ ගති ලක්ෂණ විශ්ලේෂණය කලා.
ඔවුන් සොයාගත් ආකාරයට කුලුඳුල් දරුවන් සාමාන්‍යයෙන් වඩා අවංක හා ආධිපත්‍යය දරන අයයි. ඒ වගේම, ඔවුන් සමාජශීලී බව අඩු, ආතතියට ප්‍රතිරෝධී බව අඩු පුද්ගලයන්. මැද දරුවන් වඩාත් හෘද සාක්ෂියට එකඟව හා කඩිසරව කටයුතු කරනවා. පවුලක බාලම දරුවා විවෘත හා සමාජශීලී බැවින් වැඩි අය වීමට ඉඩක් තිබෙනවා. සහෝදර සහෝදරියන් නොමැති ළමයින් බොහෝ විට ඉක්මනින් කනස්සල්ලට පත් වෙන නමුත් සමාජශීලි පුද්ගලයන් වෙනවා.

උපන් අනුපිලිවෙලෙහි වැදගත්කමක් තිබෙනවාද?

නමුත් මෙම අධ්‍යයනවල ප්‍රතිඵල වල වැරදි ගණනාවක් ඇති බව ඔබ පිළිගත යුතුයි. ජනවාර්ගිකත්වය, අධ්‍යාපනය, දෙමාපියන්ගේ සුභසාධනය සහ පවුලක් තුළ ඇති සබඳතා වැනි වැදගත් සමාජ සාධක පර්යේෂණයන් මේ සඳහා සැලකිල්ලට ගෙන නැහැ. උපත් පිළිවෙල යමෙකුගේ පෞරුෂත්වයට හෝ බුද්ධියට යම් බලපෑමක් ඇති කළ හැකි වුනත්, දෙමව්පියන් සමග ළමයින්ගේ ඇති සබඳතා සහ දරුවන් ඔවුන්ගේ නිවෙස්වල ඇති දැඩි වන ආකාරය පුද්ගලයන් වශයෙන් ඔවුන්ගේ ජීවිත හැඩගැස්වීමට වඩා වැදගත් සාධක බව අපි අමතක නොකළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *