කරලියට ආපු පුංචි අවුරුදු කුමරිය

රාවණා නාට්‍ය බලන අයටත් දෙවැනි ඉනිම බලන අයටත් ඇයව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නෑ. 2019 රූපවාහිනී අවුරුදු කුමරිය ලෙසින් හිස ඔටුනු පළඳූ ඇය අද වන විට සුන්දරත්වය නිසාම රංගන ක්ෂේත්‍රයේ දොරටු විවරකරගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දෙවන වසරේ කළමනාකරණ උපාධිය හදාරන මේ හැඩකාර දඟකාර යුවතිය,නෙත්මි රොෂෙල්

අවුරුදු කුමාරියක් වෙන්න පුංචිකාලේ ඉඳලම හීන දැක්කාද?

ඔව්. පුංචි කාලේ ඉඳලම අවුරුදු කුමරියක් වෙන්න ඕනේ කියලා හිතුණා. 2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරඟයට අයදුම්පත් යොමුකළාට පස්සේ මගේ හිසේ කිරුළ පළඳිනවා දකින්න මටත් වඩා ලොකුම ආසාවක් තිබුණේ මගේ අම්මාට. ඒ මාස කිහිපයේ අම්මා මාව ලස්සනට තියන්න නිරෝගීව තියන්න ලොකු වෙහෙසක් ගත්තා.

ලස්සන වැඩිකර ගන්න අවුරුදු කුමාරි තරඟයට කලින් මොනවාද කළේ?

හැමදාම වගේ කැරට් ජූස් එකක් අම්මා මට දුන්නා. ඊට අමතරව ගස්ලබු, අඹ ජූස් අනිවාර්යයෙන්ම හදලා දෙනවා. සුමානයකට දවස් දෙකක් සව්කැඳ, තැඹිලි බිව්වා. කොළ වර්ග සලාද ගොඩක් කන්න දුන්නා. තෙල්, සීනි පිටි නැති සාමාන්‍ය ආහාර වේලක් ගත්තා. ඇඟේ හැඩය ලස්සනට තියාගන්න ජිම් ගියා. මේ හැමදේම අතරේ මම කොච්චර කාර්යබහුල වුණත් මට නිදාගන්න කියලා අම්මා සමලස්සනට තියන්න අමු කහ කොටලා ගානවා. නැත්නම් කෝමාරිකා ගානවා. ඔය වගේ අම්මා ලොකු වෙහෙසක් ගත්තා. ඇත්තම අම්මාට තමයි මම ලස්සනට ඉන්න එකේ ගෞරවය මුලින්ම ලැබෙන්න ඕනේ.

රංගන ක්ෂේත්‍රයට පිවිසුණාට පස්සේ සුන්දරත්වය වැඩිකර ගන්න ගෙදරදි කරන දේවල් මොනවාද?

ම්…. උදේම නැගිටලා ලොකු වතුර වීදුරුවක් බොනවා. ඊටපස්සේ තමයි කිරි එක බොන්නේ. කොහොමත් දවස පුරාවටම ගොඩක් වතුර නම් බොනවා. ඊට අමතරව පලතුරු, එළවළු, පළා වර්ග හරිම උවමනාවෙන් කනවා. ජිම් එකට යන්න හැමදාම බැරිවුණත් හැමදාම මම යෝග ව්‍යායාම කරනවා. උදෑසන හෝ රාත්‍රියේදී මට වෙලාව තියෙන විදිහට යෝග ව්‍යායාම විනාඩි 40-45 ක් කරනවා. ඒක කයට වගේ මනසටත් ඉතාම හොඳයි. ඊට අමතරව ගෙදර ඉන්න දවසට කෝපි කුඩු වලට වතුර ටිකක් දාලා මූණ ස්ක්‍රබ් කරලා කඩල පිටියි, මී පැණියි, යෝගට් එකකුයි මිශ්‍ර කරලා මූණෙ ගානවා. ඒ සත්කාරය හමට හරිම හිතකරයි. කොණ්ඩේ ලස්සනට තියාගන්න ගෙදරදිම හදාගත්ත තෙල් වර්ගයක් ගානවා. තැඹිලි තෙල් වලට බී ලූනු යුෂයි, කරපිංචා යුෂයි එකතුකරලා හදාගත්ත විශේෂ තෙල් එකක්. ඒ තෙල් දැම්මොත් දවස් දෙකක් අනිවාර්යයෙන්ම හිසේ තියන්න ඕනේ. හිසට පෝෂණයක් වගේම හිසකෙස් ගැලවීයාමත් ඉන් නතරවෙනවා. ඊට අමතරව උළුහාලුයි, දෙහියි තම්බලා හිසේ ගල්වලා පැයක් විතර තියලා සෝදලා හරිනවා. ඒ සත්කාරයත් කොණ්ඩයට දිලිසෙන බවක් ලැබෙනවා. කුරුළෑ වගේ තත්ත්වයක් ආවාම අයිස් කැටයක් ඒ තැන්වල තියලා අයිස් වතුරෙන් මුහුණ හෝදනවා. එතකොට නිකම්ම ඒ කුරුලෑ තනිකර නැතිවෙනවා. ඒ ඇරෙන්න රාත්‍රී මුහුණු සත්කාර පෝෂණ අතිරේක සම සුදුකරන ක්‍රීම්වර්ග ටැබ්ලට් වර්ග මොකුත්ම මම පාවිච්චි කරන්නේ නෑ.

ඔබට ලැබුණු සුන්දරත්වය කියන දේ ඔබට දැනෙන්නේ කොහොමද?

අම්මටයි, තාත්තටයි පිං සිද්ධ වෙන්න තමයි මම අද මෙච්චර ලස්සනට ඉන්නේ. පෙර පිනකුත් බලපාන්න ඇති. කොහොම වුණත් මට හිතෙනවා මගේ සුන්දරත්වය මට ලැබුණේ වාසනාවට කියලා. අද මගේ ජීවිතයට බොහෝ වටිනා දේවල් එකතු කර තිබෙන්නෙත් ඒ වාසනාවට ලැබුණු සුන්දරත්වය.

වර්තමානයේ ලස්සන කියන දේට වටිනාකමක් ලැබෙනවාද?

ඔව්.නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් සුන්දරත්වය ලස්සන භාවිතා කරන්නේ සුදු වෙන්නයි කැපී පෙනෙන්නයි විතරයි.

කාන්තාවකට ලස්සන වැදගත්ද?

කාන්තාවකට පමණක් නොවේ. මේ ලෝකයේ සෑම කෙනෙකුටම ලස්සන වැදගත්. අනිත් දේ තමයි මම විශ්වාස කරනවා මේ ලෝකේ ඉන්න හැමෝම ලස්සනයි. හැමෝටම ආවේණික ලස්සනක් තියෙනවා. කෙනෙකුගේ හම ලස්සනයි. තවත් කෙනෙකුගේ ඇස් ලස්සනයි. තවත් කෙනෙකුගේ කොණ්‍ඩය ලස්සනයි. සමහර අයගේ ඇඟ ලස්සනයි. එහෙම බැලුවාම අපි හැමෝම ලස්සනයි. එකම දේ අපි ලස්සන දකින්නේ සාපේක්ෂව.

විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?

ඔව්. විලාසිතාවන් කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ, එය ඇඟට පහසු නැතිනම්. මම විලාසිතා තෝරාගැනීමේදී මුල්තැන දෙන්නේ සරළ බවට සහ පහසුවට.

බාහිරෙන් ලස්සන වීම පමණක්ම වැදගත්ද?

නැහැ නේද? කෙනෙක් කොච්චර ලස්සන වුණත් හදවතේ සුන්දර බවක් නැතිනම් ඒ බව කොහොම හරි මූණෙන් පේන්න ගන්නවා. අපිට කේන්තියක් ආපු වෙලාවට මූණට කොච්චර ක්‍රීම් වර්ග ගාලා තිබුණත් මුහුණෙහි හැඟීම් වහන්න බෑ වගේ.

විවාහයට කෙනෙක් ඔබට ලස්සන නිසාම තෝරා ගන්නවාට කැමතිද?

කිසිසේත්ම නෑ. ලස්සන කියන දේ මොහොතින් වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුගේ ලස්සන නිසා ආකර්ශනයක් ඇතිවෙනව, හැබැයි නමුත් ආදරේ කියන්නේ ඊට එහා ගිය බැඳීමක්.අපි හැමෝගේම හිතේ ඉන්නවා. Dream Boy කෙනෙක්. Dream girlකෙනෙක්. මටත් එහෙම්ම තමයි.

කෙනෙකුට ලස්සනට තිබුණු පමණින්ම ක්ෂේත්‍රයක රැඳෙන්න පුළුවන්ද?

බැහැ. ලස්සන නිසා කෙනෙකුට ක්ෂේත්‍රයට පිවිසෙන්න පුළුවන්. නමුත් ඕනෑම ක්ෂේත්‍රයක රැඳෙන්නනම් දක්ෂතාවය තිබිය යුතුමයි.

අවුරුදු කුමරියක් වීමට සුන්දරත්වය පමණක් ප්‍රමාණවත්ද?

සුන්දරත්වය ප්‍රධානම සාධකය වුණෙත් පෞරුෂත්වය හැසිරීම සහජ දක්ෂතා අධ්‍යාපනය පමණක් නොවේ කතාකරන විලාසය ඇවිදින හැටි පවා එහිදී සැලකිල්ලෙන් බැලුවා.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?

මම මේ ලෝකේ දැකපු ලස්සනම සුන්දරම කෙනා තමයි මගේ අම්මා.

අසුන්තා එදිරිසූරිය

Check Also

අරුම පුදුම වෙබ් අඩවිය මෙන්න

ලෝකයේ එකවගේ පුද්ගලයන් හත්දෙනෙකු සිටින බවත්, ඔවුන් හුදෙක් පෘථිවිය පුරා විසිරී සිටින බවත් හෝ වෙනත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *