ඡායාරූප පෙළේ ඇත්තම කතාව මේධා ජයරත්න හෙළි කරයි

පසුගිය දවසක රංගන ශිල්පිනී මේධා ජයරත්නගේ ෆ්‍රී ෂූට් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබුණා. මේ ඡායාරූප පෙළ නිසාම බොහෝ පිරිසක් කිව්වේ ඇය විවාහ දිවියට එළඹ ඇති බවයි. කොහොම වුනත් ඒ ඡායාරූප පෙළේ ඇත්තම කතාව ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා….

මේධා නැවැතත් හදිසියේම විවාහ වුණු බව කතාවක් පැතිරගෙන යනවා, ඇත්තද මේ කතාව?

කවුද ඔය බොරු කතා ගොතන්නේ?

එතකොට ළාබාලතම තරුණයෙක් එක්ක විවාහ වුණු කතාව බොරුවක් කියලා කියලද කියන්නේ?

ඔයා කියන්නේ මම කරපු වෙඩින් පොටෝ ෂූට් එක ගැන වෙන්න ඇති. තරුණ නිරූපණ ශිල්පියකුගේ ලොකු ආශාවක් තිබිලා තියෙනවා මම එක්ක ‘ෆ්‍රී ෂූට්’ එකක් කරන්න. ඉතින් ඔහුගේ ආශාව මම ඉටුකළා. ඉතින් ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නේ මම හදිසියේම දික්කසාද වෙලා නැවැත විවාහ වුණා කියලා.

ඉතින් ඔබත් අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හැරියා නේද?

ඔව්. ඉතින් මම ඒ නිරූපණ ශිල්පියා සමඟ කතාබහ කරන එක වීඩියෝ පටයක් මුදා හැරියා. ඉතින් මමත් දාපු නිසා හිතලා තියෙන්නේ ඔය විදියට තමයි. ගොඩදෙනෙක් මට සුබපැතුම් එකතු කළා. ඒත් මම ඒවාට රිප්ලයි කරන්න ගියේ නැහැ. ඔවුන්ට ස්තුතිය පුදකළා. සමහරු කියන්න ගත්තා මමත් සමිතා මුදුන්කොටුව මහත්මිය වගේ ළාබාල කෙනෙක් විවාහ කරගෙන කියලා. ඔය විදියට විවිධ කතා පැතුරුණා. මම ඒ කිසිවකුට උත්තර බඳින්න ගියේ නැහැ.

මේධා හදිසියේම දික්කසාද වුණේ ඇයි?

ඒ ගැන දැන් මම කතා කරන්න කැමැති නැහැ. අපි නීත්‍යනුකූලව දික්කසාද වෙලා ඉන්නේ.

එතකොට දරුවන් බලන්න එහෙම යන්නේ නැතිද?

දික්කසාද වුණා කියලා අපි අතර කිසිම හිත් අමනාපකමක් නැහැ. දරුවන් ගැන මම හොයා බලනවා. දරුවොත් මට කතාබහ කරනවා මම දරුවන්ගේ අම්මා නිසා. දරුවෙක්ට මවුපියන්ව අමතක කරන්නත් බැහැ. ඒ වගේම මවුපියන් අතර මොන ප්‍රශ්න තිබුණත් දරුවෝ අමතක කරන්නත් බැහැ.

ඉදිරියේදී සැමියාගේ නිර්මාණයට ආරාධනා කළොත් ඔබ සම්බන්ධ වෙනවාද?

ඔහු මට ආරාධනා කළොත් මම සම්බන්ධ වෙනවා. වෘත්තිය එක්ක මගේ කිසිම හිත් අමනාපකමක් නැහැ. ඔහු විතරක් නෙවේ කවුරු කතා කළත් මම නිර්මාණයකට සම්බන්ධ වෙයි. මොකද මම ජීවත් වෙන්නේ මේ වෘත්තියෙන් නිසා.

සැලැසුමක් නැතුව ජීවත් වීම පහසු කටයුත්තක් නෙවේ නේද මේධා?

මගේ ජීවිතයේ එදා ඉඳලා කිසිම සැලැසුමක් නැහැ. සරලව ජීවත් වෙනවා. කිසි බලාපොරොත්තුවක් නැහැ. එහෙම කටයුතු කරද්දි හරිම සැහැල්ලුයි. මිනිසුන්ගේ ජීවිතවලට කාලෙන් කාලෙට විවිධ ප්‍රශ්න එනවා. මටත් ආවා. ඒ සියල්ලට මමත් මුහුණු දුන්නා. කාලය තමයි ඒ සියල්ලට විසඳුම.

ඔබේ ඉදිරි දිවි ගමන තනිකඩ ගෙවන්නද අදහස?

එය ගැන මම හිතලා නැහැ. විවාහ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. කාලය ඒ හැම දේටම පිළිතුරු දෙයි.

තනිකඩව ගෙවන ජීවිතයත් එක්ක විවාහ යෝජනා එහෙම එන්නැද්ද?

මොකද නැත්තේ. විදේශීය රටවලින් මට ඇරැයුම් එනවා. දරුවන් දෙන්නත් එක්ක බාර ගන්න කැමැතියි කියලා. විදේශීය රටවලින් විතරක් නෙවෙයි ලංකාවේත් ඔය වගේ ඇරැයුම් ආවා. මම කෙල්ල කාලෙවත් ඔය විදියට ඇරැයුම් ඇවිල්ලා නැහැ. දැන් තමා ආදර ඇරැයුම් එන්නේ. ඇයි කියලා මටවත් හිතාගන්න බැහැ ඉතින්.

කලා ක්‍ෂේත්‍රයේ රංගන ශිල්පිනියන්ගෙන් අල්ලස් ගන්නවා කියන්නේ ඇත්තද?

මොකද නැත්තේ. මගෙනුත් විවිධ දේවල් බලාගෙන නිර්මාණවලට සම්බන්ධ කරන්නත් බලන් හිටියා. ඉතින් වැඩ කරන්න පහසු නිර්මාණකරුවන් තෝරා බේරාගෙන තමයි මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

මේ දවස්වල ඔබගේ රංගන කටයුතු කොහොමද සිදුවන්නේ?

‘අකුරු මැකී නැහැ’ ටෙලිනාට්‍යය සහ තව නාට්‍යයක වැඩ කරගෙන යනවා. අලුත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණා. ඉදිරියේදී එයටත් සම්බන්ධ වෙනවා.

සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයක් නිසා මේධාව ඉදිරියේදී වේදිකාවෙන් අපට දැකගන්න පුළුවන් වෙයි නේද?

බුද්ධික දමයන්තගේ අලුත් වේදිකා නාට්‍යයකට මට ආරාධනා කලා. ගොඩාක් ආශාවෙන් හිටියේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමට. ඒත් කොරෝනා ප්‍රශ්නය නිසා ඒ දේවල් කල්ගියා. ඒ වගේම රජිත දිසානායකගේ වේදිකා නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න ආශාවක් තිබෙනවා. ඒත් කවදා ඉෂ්ට වෙයිද කියලා දන්නේ නැහැ.

වසන්ත විතාරණගේ
“මව්රට” පුවත්පතේ “හාර්ට්ස්” අතිරේකයෙන්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *