පළතුරු මත ඇති ස්ටිකර් වලින් කියවෙනදේ

ඔබ දැක ඇති පලතුරු වල ඇතැම් අවස්ථාවලදී කුඩා ස්ටිකර් අලවා තිබෙනවා. විශේෂයෙන්ම සුපිරි වෙළෙඳසල්වල ඇති ආනයනය කරන ලද පලතුරු වල. මේවායේ ඇතැම් විට වෙළඳ සලකුණක් (logo) සහ ඉලක්කම් කිහිපයකින් යුතු PLU කේතයක් (Price Look Up code) සඳහන් වෙනවා. නමුත් මෙම අංකවලින් අදහස් වන්නේ කුමක් දැයි දන්නේ ඉතාම අතලොස්සක් දෙනා පමණයි. සැබවින්ම මේ අංක වලින් එම පලතුරු වල උපත පිළිබඳ අපට කිසියම් අදහසක් ලබා දෙනවා. ඒ අනුව අපට ඒවා ආහාරයට ගැනීමට සුදුසුද නැද්ද යන්න හඳුනා ගන්න පුළුවන්. අප පහතින් දක්වන්නේ ඒ ආකාරයට ඉලක්කම් කිහිපයකින් ඇති අංක වලින් අදහස් වන දෙයයි.

01. අංක 3 හෝ 4න් පටන්ගන්නා ඉලක්කම් 4 කේතය.

ඔබ අතට ගත් එළවළුවේ හෝ පලතුරේ ඇත්තේ අංක හතරකින් යුත් කේතයක් නම් සහ එම කේතය පටන් ගන්නේ තුන හෝ අතර යන ඉලක්කම් වලින් නම් එයින් අදහස් වන්නේ එම එළවළුව හෝ පලතුර නවීන වගා කිරීමේ තාක්ෂණයන්ට අනුව නිපදවන ලද්දක් බවයි. එනම් බොහෝ පොහොර වර්ග සහ කෘමිනාශක ඒ සඳහා භාවිතා කර තිබෙනවා.

02. අංක 8න් පටන්ගන්නා ඉලක්කම් 5 කේතය.

කිසියම් පලතුරක අංක 8 න් පටන් ගන්නා ඉලක්කම් පහක කේතයක් තිබෙනවානම් එයින් අදහස් වන්නේ එම පළතුරෙහි වර්ධන ක්‍රියාවලියෙහි කොටසක් ලෙස එය ජානමය වශයෙන් විකරණයට බඳුන් කරන ලද්දක් බවයි. සාමාන්‍යයෙන් අපි GMO(Genetically Modified Organisms) පලතුරු ලෙස අදහස් කරන්නේ මේවායි. ජාන වෙනස් කිරීම මගින් වඩා හොඳ වර්ධන වේගයක්, අස්වැන්නක් ආදිය ලබා ගැනීමෙහි අහිතකර ප්‍රතිඵල තවමත් තහවුරු වී නැතත්, එය ආරම්භයේ සිට අද දක්වාම ආන්දෝලනයට තුඩුදුන් ක්‍රියාවලියක්. මේ නිසා ඔබ තනිකර ස්වභාවික ආහාර වෙත යොමු වන කෙනෙක් නම් අංක 8න් ආරම්භ වන ඉලක්කම් පහේ ස්ටිකර් සහිත ආහාර මගහරින්න. බොහෝවිට කොමඩු, කෙසෙල් සහ පැපොල් මෙසේ ජානමය වශයෙන් වෙනස් කොට අස්වැන්න ලබා ගන්නා පලතුරු වර්ගයි.

03. අංක 9න් පටන්ගන්නා ඉලක්කම් 5 කේතය.

යම්කිසි පලතුරක ඉලක්කම් 5 කේතයක් තිබෙනවා නම් සහ එය ආරම්භ වන්නේ අංක 9න් නම් එයින් අදහස් වන්නේ එය වගා කොට ඇත්තේ පැරණි හෝ සාම්ප්‍රදායික වගා ක්‍රම ආශ්‍රයෙන් බවයි. එනම් රසායනික පොහොර වර්ග හෝ කෘමිනාශක භාවිතා නොකර ස්වභාවික ක්‍රම වලින් නිපදවූ කාබනික ආහාරයි. (Organic foods)

04. PLU කේතයක් නොමැති පලතුරු.

වර්තමානයේ බොහෝ දෙනෙක් ස්ටිකර් ඇලවූ පලතුරු වර්ග හොඳ නැති බව සිතන නිසා ස්ටිකර් අලවා නොමැති පලතුරු වර්ග මිලදී ගැනීමට වඩාත් පෙළඹෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම සෞඛ්‍යයට අහිතකර වන්නේ මෙසේ ස්ටිකර් නොඅලවන ලද පලතුරු වර්ගයි. විශේෂයෙන්ම ආනයනය කරන ලද පලතුරු වර්ග වල නම් මෙසේ ස්ටිකරයක් අලවා තිබිය යුතුමයි. එසේ ස්ටිකර් එකක් නැත්නම් එයින් අදහස් වන්නේ ඔබට හිතකර නොවන යම්කිසි නිශ්චිත ක්‍රියාවක් සඳහා එම ස්ටිකර් ඉවත් කර ඇති බවයි. මේ නිසා එළවළු පලතුරු මිලදී ගැනීමේදී ස්ටිකර් අලවා ඇති සහ එම ස්ටිකර් වල සඳහන් ඉහත කේත වලින් කියැවෙන දේ සොයා බලා මිලදී ගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *