භාණ්ඩ වල අලුත් පෙනුමක් ලබාගත හැකි ක්‍රම

අපි එදිනෙදා භාවිතා කරන භාණ්ඩ වලින් විශේෂයෙන් ඇල්මක් දක්වන භාණ්ඩ, භාවිතා කළ නොහැකි ලෙස පරණ වීම නිසා ඒවා ඉවත දමන්න වෙන එක කොයි තරම් සිත කලකිරවන දෙයක්ද. ඒවා නැවත මිලදී ගන්න අපට අලුතෙන් මුදල් වැය කරන්නත් සිදුවෙනවා. නමුත් අපට ඉවත දමන්න සිදුවෙන භාණ්ඩ නැවත භාවිතා කළ හැකි ලෙස සකසා ගන්න පුළුවන් නම්, අපි ආසම කරන භාණ්ඩ අපි ලඟ තබා ගන්නත් පුළුවන්, අපගේ මුදලුත් ඉතිරියි. ඒ නිසා අපි මේ ලිපියෙන් පරණ වීම, මළ බැඳීම, අලුත් පෙනුම නැති වීම ආදී විවිධ හේතු නිසා ඔබට ඉවත දමන්න වෙන එදිනෙදා භාණ්ඩ, මිලදී ගත් අවධියේ වගේම අලුත් පෙනුමෙන් යුතුව නැවත සකසා ගන්න පුලුවන් අපූරු ක්‍රම 13ක්ම කියලා දෙනවා.

01. එළවළු කපන ලෑල්ල. (Chopping board)

දෙහි යුෂ සහ ලුණු සහිත මිශ්‍රනයක පොඟවා ගත් ස්පොන්ජ් එකක් මගින්, මුළුතැන්ගෙයි කපන ලෑල්ලේ ඇති පැල්ලම් ඉවත් කර නව පෙනුමක් ලබාගන්න පුළුවන්.

02. තඹ භාජන.

 

ආහාර පිසීම සඳහා වඩා සුදුසු යැයි සලකන්නෙ තඹ වලින් නිමවූ භාජනයි. ඔබගේ නිවසේ ඇති තඹ භාජන වලට අලුත් පෙනුමක් ලබාගන්න ලුණු සහ විනාකිරි මගින් පුළුවන්. පැල්ලම් සහිත ප්‍රදේශ වලට ලුණු කුඩු ටිකක් ඉස, ඒ මතට විනාකිරි ස්වල්පයක් දමා, තද ස්පොන්ජ් එකකින් අතුල්ලමින් සෝදා හරින්න.

03. පිඟන්.

පිඟන් වල පෙනුම වඩා අවලස්සන කරන්නේ ඒ මත ඇති සීරීම් වලිනුයි. ඉතින් එම සීරීම් වසා ඒවාට අලුත් පෙනුමක් ලබාදීමට පෝසිලේන් භාණ්ඩ සඳහාම නිර්මාණය කර ඇති පොලිෂ් එකක් භාවිතා කරන්න.

04. බේක් කරන තැටි ( Baking trays)

වරින් වර බේක්‌ කිරීම නිසා පිලිස්සුණු පැල්ලම් සහිත බේක් කරන තැටි වලට අලුත් පෙනුමක් ලබාගැනීමට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ සාමාන්‍ය සෝඩා වලින් පුළුවන්. මේ ද්‍රව්‍ය 2 මිශ්‍ර කර තනාගත් මිශ්‍රණය තැටිය පුරා අතුරා මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර පසූව සෝදා හරින්න.

05. පාපිසි.

පාපිසි, එහෙමත් නැත්නම් කාපට් මත ආහාර ද්‍රව්‍ය මගින් හෝ වෙනත් පැල්ලමක් ඇතිවුණත් ඒවා යවාගන්න එක පහසු නැහැ. නමුත් අපි මේ කියා දෙන ක්‍රමයත් එක්ක නම් ඔබට හොඳ ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා වතුර කොටස් දෙකක් සමග විනාකිරි කොටස් එකක් මිශ්‍රකර, එම මිශ්‍රණය ස්ප්‍රේ බෝතලයකට දමා පැල්ලම් ඇති ස්ථානයට හොඳින් ස්ප්‍රේ කරන්න. ඉන්පසු එය මතට තෙත රෙදි කැබැල්ලක් එලා, විදුලි ස්ත්‍රික්කය වාෂ්ප මගින් ක්‍රියාත්මක වන ආකාරයට සකසා, තත්පර 30ක් පැල්ලම මත දැමූ තෙත රෙදි කැබැල්ල උඩින් තද කරගෙන සිටින්න. පැල්ලම බොහෝ දුරට හෝ සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙන අයුරු ඔබට බලාගන්න පුළුවන්.

06. වාත්තු යකඩ භාජන. (Cast – iron pans)

පැරණි වූ වාත්තු යකඩ භාජනයක් අලුත් තත්වයට පත් කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මේක ටිකක් දිග ක්‍රියාවලියක්. නමුත් අලුතෙන් මිලදී ගන්නවාට වඩා ටිකක් කැප වීමෙන් පරණ භාජන නැවත සකසා ගන්න පුළුවන් නම්, ඒක ඔබ‍ට ප්‍රයෝජනවත් වේවි. මේ සඳහා ඔබ‍ට උඳුන් සඳහාම යොදාගන්නා රසායනික සේදුම්කාරකයක්, අත් වැසුම්, කුණු දමන බෑගයක්( Garbage bags) සහ සුදු විනාකිරි අවශ්‍ය වෙනවා. මුලින්ම ඔබ ගත් විෂබීජනාශක සේදුම්කාරකයෙන් ඝන ස්ථරයක් භාජනය මත අතුරා එය වියලී යාමට කලින් කුණු දමන බෑගයකට දමා කට තදින් ගැට ගසන්න. ඉන්පසු දින 1 – 2ක්‌ පමණක් එසේම තිබෙන්නට හරින්න. දින දෙකකට පමණ පසු එළියට ගත් භාජනය හොඳින් සෝදා නැවතත් කලින් දියරයෙන්ම ඝනකම් ස්තරයක් අතුරා, බෑගයට දමා තවත් එක් දිනක් තිබෙන්නට හරින්න.

ඉන්පසු බෑගයෙන් එළියට ගත් භාජනය උණුවතුරෙන් හොඳින් සෝදන්න. මීළඟට ඔබ සුදු විනාකිරි සහ සාමාන්‍යය රස්නයක් සහිත උණුවතුර සමාන කොටස් සහිත මිශ්‍රණයක භාජනය පෙඟෙන්නට තබා පැයකට පමණ පසු හොදින් අතුල්ලමින් සෝදා හරින්න. ඉන්පසු භාජනය වේලෙන්නට තබා අවන් එක 250°C ට ප්‍රී හීට් කර( pre heat) වේළුණු භාජනය පැයක් ඒ තුළ තිබෙන්නට හරින්න. පසුව භාජනය ප්‍රවේශමෙන් එලියට ගන්න. ඉන්පසු එය මතට ඔලිව් තෙල් ස්තරයක් දමන්න. රත් වූ ලෝහය මගින් අවශ්‍ය තරම් තෙල් උරාගත් පසු වියලි පිරිසිදු රෙදි කැබැල්ලකින් අතිරික්තය පිසදා හරින්න. ඉන්පසු භාජනය උඩු යටිකුරු කර නැවතත් අවන් එකට දමා මිනිත්තු 15ක්‌ තබා එළියට ගෙන නැවතත් හොදින් පිසදා තවත් මිනිත්තු පහළවක් සඳහා අවන් එකට දමන්න. මෙසේ තවත් දෙවරක් කිරීමෙන් පසු භාජනය ඔබට භාවිතා කළ හැකි ලෙස නවතම පෙනුමකින් ලබා ගන්නට පුළුවන්.

07. ටයිල්.

ටයිල් අතර ඇති අපිරිසිදු දාර පිරිසුදු කර ගැනීම සඳහා බ්ලීචින් යොදාගන්නට පුළුවන්. මේ සඳහා වතුර සහ බ්ලිචින් 1:1 අනුපාතයට යොදාගත් මිශ්‍රණයකින් හොඳින් අතුල්ලමින් සෝදා හරින්න. ක්‍රියාවලිය සිදු කරන අතරතුරදී කාමරය හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ පවත්වා ගැනීමට අමතක කරන්න එපා.

08. සුදු ස්නිකර් සපත්තු.

ඔබගේ සුදු ස්නිකර් සපත්තු කලින් තිබූ පරිදිම බැබලෙන සුදු පැහැයකින් පවත්වා ගැනීමට බඳුන් සෝදන දියර තේ හැඳි 1ක්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැදි 3ක් සහ බේකින් සෝඩා මේස හැඳි 2ක් සහිත මිශ්‍රණයකින් පුළුවන්.

09. ලෙදර් ගෘහභාණ්ඩ.

සෝපා වැනි ලෙදර් ගෘහභාණ්ඩ වල ඇති සීරීම් මකා ගැනීම සඳහා එවැනි සීරීම් ඇති ස්ථාන සඳහා ඔලිව් තෙල් හෝ ළදරු තෙල් ස්වල්පය බැගින් තවරා හොඳින් පිරිමැද පැයක් වේලෙන්නට තබන්න. සීරීම් තවදුරටත් පෙනෙන්නට තිබෙනවා නම් මෙම ක්‍රියාවලිය කිහිප වතාවක් සිදු කරන්න.

10. මයික්‍රෝෆයිබර් සහිත ගෘහ භාණ්ඩ.

මෙවන් ගෘහ භාණ්ඩ සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. කාලයත් සමගම මෙවැනි පුටු ආදියෙහි ඇතිවන පැල්ලම් මකා ගැනීමට ඔබට මද්‍යසාර යොදා ගැනීමට පුළුවන්. මධ්‍යසාර වලින් පෙඟවූ ස්පොන්ජ් එකක් ආධාරයෙන් පැල්ලම් ඇති ස්ථාන හොදින් තෙමෙන සේ පිස දමන්න. ඒවා වියළුණු පසු බුරුසුවක් මගින් හොඳින් අතුල්ලමින් පිරිසිදු කරන්න.

11. ලෙදර් (හම්) බෑග්.

ලෙදර් බෑග් වල ඇති පැල්ලම් මකා ගැනීම සඳහා තිබෙන පහසුම ක්‍රමය වන්නේ ඒ සඳහා තෙත් ටිෂු (Wet wipes) යොදා ගැනීමයි.

12. තුවායන්.

ඔබගේ තුවායන් වල නැති වූ සුමුදු බව නැවත ලබා ගැනීම සඳහා ඒවා සාමාන්‍ය පරිදි කුණු ඉවත් වන සේ හොඳින් සේදීමෙන් පසු, ලුණු වතුරෙන් සෝදන්න. ඒ වගේම තුවා එදිනෙදා පාවිච්චියෙන් පසු හොඳින් වාතාශ්‍රය ලැබෙන එළිමහනක වියළීමෙන් බොහෝ කාලයක් ඒවායේ අලුත් පෙනුම තබාගන්න පුළුවන්.

13. දත් බුරුසු.

ඔබගේ කෙඳි නැමී ඈත් වුණු දත් බුරුසුව විසි කරනවා වෙනුවට ඒවායේ කෙඳි නැවතත් කෙලින් කර භාවිතයට ගත හැකි ලෙස සකසා ගන්න එක ඔබ හිතනවාට වඩා පහසු ක්‍රියාවක්. ඔබ කරන්න ඕනේ, බඳුනකට නටන උණු වතුර දමා බුරුසුවේ කෙඳි ඒ තුල බස්වා ජලය තුළ හොඳින් කරකැවීමයි. සුළු වේලාවකින් කෙඳි නැවතත් තිබූ පරිදිම සැකසෙන අයුරු ඔබට දැක ගන්න පුළුවන්.

Check Also

අරුම පුදුම වෙබ් අඩවිය මෙන්න

ලෝකයේ එකවගේ පුද්ගලයන් හත්දෙනෙකු සිටින බවත්, ඔවුන් හුදෙක් පෘථිවිය පුරා විසිරී සිටින බවත් හෝ වෙනත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *