යාචිකාවක්ව සිට එක් ඡායාරූපයෙන් ලක්ෂපතිනියක් වූ දුප්පත් තරුණිය
අද කියන්නට යන පිලිපීන ජාතික රීටා ගැවියෝලා වර්තමානයේ අන්තර්ජාල තරුවක් (ඔන්ලයින් සෙලිබ්‍රිටි) වන ඇය දාහත් හැවිරිදි යොවුන් තරුණියකි. අහම්බයෙන් ගත් අැයගේ ඡායාරූපයක් නිසා ජීවිතයම වෙනස් වූ ඇයගේ 2019 වසරේ ඇස්තමේන්තු ගත ශුද්ධ වත්කම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 426,000ක් පමණ වේ. 2003 වසරේ මැයි මස 13 වැනිදා රීටා උපත ලැබුවේ අන්ත දුගී පවුලක සාමාජිකාවක ලෙසිනි. රීටා, ඇයගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් පස්දෙනෙකුට දිනකට එක ආහාර වේලකින් සෑහීමට පත්වීමට සිදුවිය. මුහුදෙන් අල්ලාගන්නා ඕනෑම මසුන් වර්ගයක් සමග මිශ්‍ර කර තම්බන ලද මඤ්ඤොක්කා පවුලට මහත් ආශිර්වාදයක් විය.
ඇගේ පියාවන ඩැනී මසුන් මරන්නෙකු, කුණු කසළ එකතු කරන්නකු සහ වීදි වෙළෙන්ඳෙකු ලෙස සේවය කළ අතර ඇගේ මව රීටා ගේ සහෝදර සහෝදරියන් රැක බලාගෙන නිවසේ රැඳී සිටියාය. රීටා ඇතුළු සහෝදර සහෝදරියන් පස්දෙනාම ඒ වන විට පාසල් අධ්‍යාපනය හරි හැටි නොලැබූ අය වූහ. ඊට හේතුව වූයේ, අගහිඟකම්වලින් යුතු පවුලේ ආර්ථික අර්බුදවලට විසදුම ලෙස පාසල් නිමවීමෙන් පසු සිඟමනේ යෑමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වීමයි. උත්සව කාලවල දී ඇයගේ මව වන මරීටා ද ඇයට එක්වූ අතර පේසෝ 300ක් පමණ (රුපියල් 1000 ක් පමණ) උපයා ගැනීමට සමත් වූහ.
2016 වසරේ මැයි 15 වන දින, කේසොන් පළාතේ ලුක්බාන් නගරයේ පැවැති පහියාස් උත්සව (කේසොන් පළාතට විශේෂී වන අස්වැන්න නෙළීමේ ප්‍රීතිය නිමිත්තෙන් පවත්වනු ලබන විචිත්‍රවත් උත්සවයකි) අතරතුර එවකට 13 හැවිරිදි වියේ පසුව රීටා සුපුරුදු පරිදි සිය දෙහැවිරිදි සොයුරිය සමග සිඟමනේ යෙදෙමින් සිටිය දී, ටෝෆර් ක්වින්ටෝ බර්ගොස් නම් ඡායාරූප ශිල්පියා ඇගේ ඡායාරූපය ගෙන අන්තර්ජාලයේ පළ කළේය. ඇයගේ දුඹුරු පැහැති සම, සිත් ඇදගන්නාසුලු හකු ඇටයේ පිහිටීම, උස් කම්මුල් ඇටයේ පිහිටීම, සිත් වශී කරගන්නා වූ ඇස් සහ ජාත්‍යන්තර තලයේ නිරූපිකාවකගේ මෙන් ශාරීරික පිහිටීම අන්තර්ජාලයේ සැරිසරන්නන්ගේ දැඩි අවධානයට ලක්වූ අතර ඇය ‘‘බාද්ජාවෝ යුවතිය’’ යන නමින් ලෝක ප්‍රසිද්ධියට පත්වූවා ය. බාද්ජාවෝ යනු, එරට ‘‘මුහුදු අහිගුණ්ඨිකයින්’’ යන තේරුම ඇති ස්වදේශීය ජන කොට්ඨාසයකි.
සිඟමනේ යෙදී සිටිය දී ලබාගත් ඡායාරූප අන්තර්ජාලයේ සැරිසරන බව දැනගත් ඇය පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබේ යැයි ඉමහත් බියෙන් පසු වන විට සිදුවූයේ වෙනත් දෙයකි. ඒ වනවිට රීටා පරිගණක භාවිතයට හෝ ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ගැන කිසිවක් නොදැන සිටියාය. අහම්බයෙන් ඡායාරූප ගත් රීටාගේ ඡායාරූපය 2015 දී පිලිපීන ලෝක රූ රැජින වූ හිලරි ඩැනියෙල් පරුන්ගාවෝ, 2014 පිලිපීන ජාත්‍යන්තර රූ රැජින වූ බියංකා ගිඩොටි සහ 2015 මිහිකත රූ රැජින වූ ඒන්ජලීයා ඔංග් ගේ අවධානය ලබා ගැනීමට සමත් විය. එය රීටාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කිරීමට සමත් වූවා ය.
ඉන් අනතුරුව ඇයගේ සිත් ගන්නා සුලු හැඩරුවට මනබැන්දූ දහස් ගණනක් වූ සමාජ ජාල පරිශීලකයින් අතර ජනප්‍රිය වන විට පිලිපීනයේ විවිධ වෙළෙඳ සන්නාමවල නිරූපණය සඳහා, එරට රූපවාහිනී කතා මාලාවල චරිත ඇයට ලැබෙන්නට වූවාය. එසේම ලොව ප්‍රසිද්ධ රියැලිටි ප්‍රසංගයක් වන බිග් බ්‍රදර් ඩු වයසින් සහභාගී වූ තරුව වූයේද ඇයයි. එදා අහම්බෙන් ඡායාරූපගත වූ සිය හැඩරුව සිය පවුලේ අනාගතය සහ මුලින්ම වෙනස් කිරීම ගැන ඇය හැමවිටම හැම දෙනාටම ස්තූතිය පුද කරන්නීය. අන්තර් ජාලයේ ඇයගේ රසිකයෙකු වන ඇමෙරිකා ජාතිකයෙකු වන ග්‍රේස් කෘට්ස්ට් තම පවුලේ අයට නව නිවසක් ඉදිකරදීම ගැනද ඇය ස්තූතිය පළ කරන්නීය.
දැන් විවාහ වී එක්දරු මවක් වන ඇය මෝස්තර නිරූපණ ශිල්පයේ නියැළී 2019 වසරේ දී පමණක් ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 426,000ක් පමණ උපයාගෙන ඇත