ලිපිනයෙහි අංකයෙන් කියවෙන රහස්

බොහෝ දෙනෙක් තමන්ගේ ජීවන අංකය දන්නවා ඇති. මෙවැනි අංක ඔබගේ ගති ස්වභාවයට සහ ජීවිතයට බලපාන විවිධ ආකාරයන් තිබෙන්නට පුළුවන්. ඇතැමුන් ඒවා විශ්වාස කරන්නේ නැතුව ඇති, නමුත් අංක ශාස්ත්‍රය කියන්නෙත් එක්තරා ආකාරයක විද්‍යාවක්. ජීවන අංකය වගේම ඔබේ ජීවිතයට බලපෑම් කළ හැකි තවත් අංක ඔබ අවට තිබෙනවා. එවැන්නක් තමයි ඔබගේ නිවසේ ලිපිනයෙහි අංකය. මේ ලිපියෙන් අපි ඔබට කියන්නම් ඔබගේ නිවසේ ලිපිනයෙහි තිබෙන අංකයෙන් ඔබගේ ජිවිතයට බලපෑමක් සිදුවන ආකාරය.ඒ සඳහා පළමුව ඔබ ලිපිනයෙහි අංක ගණනය කරන ආකාරය දැන ගත යුතුයි. ඒ සඳහා පියවරයි මේ.

1. ඔබගේ ලිපිනයෙහි සඳහන් අංක පිළිවෙලින් ලියාගන්න. උදාහරණයක් විදියට, ඔබ ජීවත් වෙන්නේ උද්‍යාන වීදියේ නොම්බර 9728 කියන අංකයේ නම් 9, 7, 2, 8 කියන අංක තමයි ඔබ ගන්න ඕන.

2. තනි ඉලක්කමක පිළිතුරක් ලැබෙන තෙක් ඒ සියලුම ඉලක්කම් එකතු කරන්න. මතක තියාගන්න, කිසිම විටක ඔබගේ පිළිතුර අංක දෙකේ සංඛ්‍යාවක් නොවිය යුතුයි. අංක දෙකේ පිළිතුරක් ලැබෙනවානම් ඒ අංක දෙකත් එකතු කර පිළිතුර තනි අංකයකට ලබාගන්න.
උදා : 9+7+2+8 =26, 2+6 =8

3. ඔබට මහල් නිවාසයක අංකයක් තිබෙනවා නම් එයත් පිළිතුරට එකතු කරන්න.උදා : මහල් නිවාසයේ අංකය 101 යැයි සිතන්න. එවිට ; 9+7+2+8+1+0+1 = 28, 2+8=10, 1+0=1

4. ඔබගේ මහල් නිවාස අංකයට ඉංග්‍රීසි අකුරකුත් ඇතුලත් නම් ඒ අකුර සඳහා අදාල වන සංඛ්‍යාත්මක අගය අපි පහත වගුවෙන් දක්වනවා.

1 = A, J, S

2 = B, K, T

3 = C, L, U

4 = D, M, V

5 = E, N, W

6 = F, O, X

7 = G, P, Y

8 = H, Q, Z

9 = I, R,

ඒ අනුව ඔබ ජීවත් වෙන්නේ D හි නම්,
9+7+2+8+4 =30, 3+0=3

මේ ආකාරයට අවසන් පිළිතුරකට සාදාගත් අංකයට අදාලව කියැවෙන දේවල් අපි මීළඟට බලමු.

01. අංක 1 ඉතා ධනාත්මක හා බලාපොරොත්තු සහගත වන අතර නිවසකට නැවුම් හා ශුභවාදී ජීවයක් ගෙන එනවා. ජීවිතය අලුතින් ආරම්භ කිරීමට හෝ ජිවිතයේ ප්‍රධාන වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන අයට අංක 1 හොඳින් ගැලපෙනවා. තනිව ජීවත් වීමට කැමති අයටත් එය හොඳ අංකයක්‌. මොකද එය ආත්ම විශ්වාසය හා ශක්තිය නිරූපනය කරන අංකයක්.

02. අංක 2 හැඟීම් කෙරෙහි අතිශයින්ම බලපෑම් කරන අතර සානුකම්පිත සහ පිරිපුන් සුවපහසු පරිසරයක් නිර්මාණය කරනවා. අලුතින් පදිංචි වී පවුලක් ඇති කර ගැනීමට බලා සිටින නව යුවළකට සුදුසුම ලිපිනයයි අංක 2. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයක් සඳහා උනන්දුවක් දක්වන නේවාසික මිතුරන්ටද මෙය හොඳ විකල්පයක්‌. අංක 2 සම්බන්ධව සැලකිලිමත් විය යුතු එකම කාරණය තිබෙන්නේ අධිකව සංවේදී පුද්ගලයන් සඳහායි. මොකද මෙම ලිපිනයෙහි එම පුද්ගලයන් තුළ එවන් හැඟීම් සහ තත්ත්වයන් වැඩි දියුණු කරන ශක්තීන් ක්‍රියාත්මක වන බැවින් ඔවුන් පෙරටත් වඩා හැඟීම්බර සහ ආවේගශීලී විය හැකි නිසයි.

03. අංක 3 ඉතාම කඩිමුඩියේ වැඩ කරන පුද්ගලයන් සඳහා වඩාත් සුදුසුයි. මොකද, මෙවන් ලිපිනයක ඇති පරිසරයක් නිශ්ශබ්ද සහ සාමකාමී වන්නේ ඉතාම කලාතුරකින්. නමුත් එයින් නරක දෙයක් අදහස් වන්නේ නැහැ. කාර්යබහුල ජීවිත ගත කරන සහ විනෝදයෙන් සිටීමට කැමති පුද්ගලයන්ට වඩාත් ගැලපෙන්නේ අංක 3යි. නමුත් ඔබ කාර්යබහුලත්වයෙන් ඉක්මනින් වෙහෙසට පත් වන, සාමකාමී බව සොයන පුද්ගලයෙක් නම් අංක 3 ඔබට එතරම් ගැළපෙන්නේ නැහැ.

04. අංක 4 නිවසකට ස්ථාවරත්වය ශක්තිමත් බව සහ ආරක්ෂාකාරී බව ගෙන එනවා. තමාගේ හොඳ ගතිගුණ සහ ආචාරශීලීත්වයේ වර්ධනයක් සහ රැකියා, මූල්‍යමය අතින් දියුණුවක් බලාපොරොත්තු වෙන කෙනෙකුට අංක 4 හොදින්ම ගැලපෙනවා. නමුත් ඔබ ජීවිතය ගැන වඩාත් බරපතළ ලෙස සිතීමෙන් වැළකිය යුතුයි. අංක හතර ඔබව අරමුණු කරා ගෙන යාමට උදව් කළත්, එයින් බැහැරට පැමිණ විනෝද වීමටත් ජීවිතය විඳීමටත් මෙම ලිපිනයෙහි පුද්ගලයන් වඩාත් නැඹුරු විය යුතුයි.

05. අංක හතර ස්ථාවර වන තරමටම, අංක 5 කලබලකාරී සහ අනපේක්ෂිත වෙනවා. පුදුමයන් සහ උද්‍යෝගයන්ට කැමති කෙනෙක්ට නම් අංක 5 හොඳින්ම ගැලපෙනවා. මෙහි සිටින පුද්ගලයන්ට සාමකාමී බව නම් වැඩිය බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් දුක් වෙන්න එපා. අඩුම තරමේ ඔබේ ජීවිතය කම්මැලි එකක් නොවී පවතීවි. මෙම ලිපිනයෙහි ජීවත්වන දෙමවුපියන් තමන්ගේ දරුවන් ඔවුන්ගේ පාලනයෙන් මිදී නොයන බවට වඩාත් සැලකිලිමත් විය යුතුයි.

06. අංක 6 කියන්නේ කිසි කෙනෙකු කිසිදා අත් හැර යාමට කැමති නොවන ආකාරයේ සරල, සතුටුදායක සහ සුවපහසු ස්ථානයන්. කෙටියෙන් කිව්වොත් ඕනෑම සුන්දර පවුලකට දියුණුවීමට, වර්ධනය වීමට සහ මහලු වීමට ගැලපෙන උණුසුම්, සුවපහසු, සතුටුදායක සහ කලාත්මක ප්‍රදේශයන් තමයි අංක 6 හි පිහිටන්නේ. විශේෂයෙන්ම චිත්‍ර ශිල්පීන් සහ වෙනත් කලාවන්ට සම්බන්ධ පුද්ගලයන් නම් මෙවන් ලිපිනයකට වඩාත් කැමැති වේවි.

07. ආධ්‍යාත්මිකත්වයට සහ පෞද්ගලික සංවර්ධනයට අදාල වෙන අංකය තමයි අංක 7. මෙවන් ලිපිනයක ජීවත් වන විට ආගම දහමට සහ අධ්‍යාපනයට වැනි යම් ධනාත්මක ආකාරයකින් ස්වයං දියුණුව සලසා ගත හැකි ක්‍රමයකට නැඹුරු වීම සාමාන්‍ය දෙයක්. ජීවිතය ගැන අධ්‍යනය කරමින් සාමකාමී සහ පෞද්ගලික ආකාරයකට දිවි ගෙවීමට කැමති කෙනෙකුට මෙය වඩාත් සුදුසු වෙනවා. මෙය පවුලක් හෝ යුවලක් වැනි ලෞකික ජීවිත ගතකරන පිරිසකට එතරම් නොගැලපෙන්නේ මෙවන් අංකයකින් අන්තර් පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කෙරෙන ආකාරයේ කිසිදු බලපෑමක් සිදු නොකරන නිසයි.

08. ඉක්මනින් දියුණු වීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වඩාත්ම ගැළපෙන්නේ අංක 8 යි. එයට හේතුව අංක 8 මගින් ධනය සහ සෞභාග්‍යය ආකර්ෂණය කර ගැනීම පමණක් නොව එය ඉතා ඉක්මනින් සිදු කිරීමයි. මෙහි ඇති අවාසි සහගත තත්ත්වය ගැන කතා කරනවා නම්, තමන්ගේ ජීවිතයේ වැදගත් දේවල් පවා පරදුවට තබා භෞතිකවාදයට සහ ලෞකිකත්වයට නැඹුරු වීමට මෙමගින් බලපෑමක් තිබෙනවා.

09. අංක 9 කියන්නේ සානුකම්පිත බව සහ සමාජයීය සබඳතා උත්තේජනය කරන අංකයක්‌. පරිසරය සුරැකීම, සමාජ සාධාරණත්වය සහ අසරණයන්ට උදව් කිරීම වැනි සමාජ සේවා කටයුතු වල නිරත වී සිටින පුද්ගලයන්ට මෙය වඩාත් සුදුසු පරිසරයක් වනු ඇත. අංක 1 අලුත් ආරම්භයන් සදහා සුදුසු වන තරමටම, අංක 9 තමන්ගේ ජීවිතයේ අරමුණක් හෝ යම් කාල පරිච්ඡේදයක් අවසන් කිරීමට/සම්පූර්ණ කිරීමට සුදුසු වන අංකයක් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *