ෂර්ලොක් හෝම්ස් ගැන ඔබ නොදත් කතාවක්

ෂර්ලොක් හෝම්ස්,

අංක 221 B,

බේකර් වීදිය,

ලන්ඩන්.

ෂර්ලොක් හෝම්ස් ගැන දන්න අයට නම් මේ ලිපිනය නුපුරුදු නෑ. නමුත් කිසිදිනක මේ ලිපිනය සදහන් ස්ථානයේ ජීවමාන කිසිවෙක් ජීවත් නොවුනත් අදටත් ඒ ලිපිනයට ඔබ ලියුමක් යැව්වොත් ෂර්ලොක් හෝම්ස්ගෙන් පිළිතුරු ලිපියක් අනිවාර්යෙන්ම ඔබට ලැබෙනවා.

ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතා කියවූ පාඨකයන් එය කියවූ මුල් කාලයේදීම ෂර්ලොක් හෝම්ස්ට දිගින් දිගටම ලිපි යැවුවා. බේකර් විදියේ අංක 219 සිට 229 දක්වා ගොඩනැගිලි ඒකක අයත්ව තිබූ ඇබී ජාතික ගොඩනැගිලි සමාජයට ( Abbey National Building Society) ඒ ලිපි සියල්ල ලැබුණා. අවසානයේ දී ෂර්ලොක් හෝම්ස් ගේ නමට සතියෙන් සතියට එන දහස් ගණනක් ලිපි ගැන සලකා බැලීමට වෙනම ලේකම්වරියක් පවා පත් කරන්න එහි කළමනාකාරීත්වයට සිද්ධ වුනා. කෙසේ වෙතත් 1990දී ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය බේකර් වීදියේ අංක 239 දරන ගොඩනැගිල්ලේ නිර්මාණය වුනේ ෂර්ලොක් හෝම්ස් කතාමාලාව ප්‍රබන්ධ එකක් නොව, සත්‍ය කතාවක් බවට පත් කරමින්. කොහොමටත් මේ ෂර්ලොක් හෝම්ස් කියන චරිතය සත්‍ය කතාවක් ලෙස විශ්වාස කරන මිලියන ගණන් ජනතාව අදටත් ඉන්නවා.

මේ ප්‍රබන්ධ කතාව ප්‍රබන්ධ කතාවක් විදිහට විශ්වාස කරන්න බැරි තරමට මේ කතාවේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇති නිසා. ෂර්ලොක් හෝම්ස් උනත් ඉතාමත් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමද මෙම කතාව ප්‍රබන්ධයක් නොවන බව විශ්වාස කිරීමට හේතුවක් වුනා. ඉතින් ඔහු ජීවත් වුනයි කියන මේ බේකර් වීදියේ ඇති ගොඩනැගිල්ල සත්‍ය වශයෙන්ම තිබිල නැහැ. ඒ වෙනුවට ඇත්තේ අංක 239 කියන ගොඩනැගිල්ල. ඉතින් මේ ප්‍රබන්ධ කතාව මේ අංක 239 කියන ලිපිනය 221 B කරන්න පුළුවන් කම ලැබෙනවා. රජයේ විශේෂ අවසරයක් යටතේ තමයි මේ විදියට ලිපිනය වෙනස් කරන්නේ. ප්‍රබන්ධ කතාවක මනඃකල්පිත චරිතයක් වෙනුවෙන් මේ විදිහට ලන්ඩන් නගරයේ ජනාකීර්ණ වීදියක ලිපිනයක් පවා ඔන්න ඔහොම වෙනස් වෙනවා.

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් 1887 දී තමන්ගේ ප්‍රථම ෂර්ලොක් හෝම්ස් කතාව ලියනවා. ඒ කතාව තමයි ලෝහිත පරීක්ෂණය හෙවත් A Study in Scarlet කියල කියන්නේ. මේ ප්‍රථම කථාවේ ඉදලම ෂර්ලොක් හෝම්ස් සම්බන්ධ රහස් පරීක්ෂක කතා, ගුවන්විදුලි නාට්‍ය, රූපවාහිනී නාට්‍ය, වාර්තාමය වැඩසටහන්, වේදිකා නාට්‍ය, කාටුන් සහ දැවැන්ත සිනමාපට පමණක් නෙමේ පරිගණක ක්‍රීඩා පවා බිහි වුනා. රහස් පරීක්ෂණයක් මතක් කරද්දි ෂර්ලොක් හෝම්ස්ගේ නම නිරායාසයෙන් මතක් වෙන තරමටම එය දේශ සීමා, ජාති, ආගම් භේදයකින් තොරව ඒ ඒ රටවල සංස්කෘතියට කෙමෙන් කෙමෙන් මුසු වුනා.

ඔබ ෂර්ලොක් හෝම්ස් ගේ රහස් පරීක්ෂක කතා සියල්ලම කියවූ පාඨකයෙකු වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් ඒ කිසිම කථාවක් නොකියූ අයෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඔබ ජීවිතයේදී ගන්න තීරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න, විශ්ලේෂණාත්මකව හිතන්න, විකල්ප අතරින් හොඳම විකල්පය තෝරා ගන්න, කරන වැඩේට සම්පූර්ණ අවධානය යොමු කරන්න සහ සංකීර්ණ ප්‍රශ්න සරලව දකින්න පුළුවන් මනසක් හදාගන්න කැමති කෙනෙක් නම් ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතා කියවන්නම වෙනවා.

නමුත් කියවල විතරක් මදි ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ෂර්ලොක් හෝම්ස් කියන්නෙත් සුපිරි වීරයෙක්. ඒත් ඔහුට කිසිම විශේෂ බලයක් වගේ දෙයක් තිබුනේ නෑ. හෝම්ස් කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුවත් ඒකම තමයි. ෂර්ලොක් හෝම්ස් තමන්ගේ රහස් පරීක්ෂක වලට වැඩි වශයෙන්ම යොදාගන්නේ මොළය. ෂර්ලොක් හෝම්ස් තරම් මොළය වෙහෙසවලා වැඩකරන කෙනෙක් ඔබ කොහේදිවත් දැකලා නැතුව ඇති. ඔහුට සංකීර්ණ ගැටලු ඉතාමත් සරල විදිහට විසදන්න පුළුවන්.

ඒ ඔහු මොළයෙන් නිසි ආකාරයට වැඩ කිරීම නිසා. ඉතාමත් සංකීර්ණ කිසිම හෝඩුවාවක් නොමැති පරීක්ෂණ වලදී ඔහු කෑම බීම අතෑරලා දාලා මොළය වෙහෙසවනවා. ඔහු එක් වරක් වොට්සන් හට මෙහෙම පවසනවා,

“මගේ සිරුර ගැන හිතුවොත් ඒකෙ ප්‍රධානම, වැදගත්ම සහ සැළකියම යුතු කොටස තමයි මොළය. සිරුරේ අනෙක් සියළුම කොටස්, නොවැදගත් උපාංග විතරයි ඒ හින්දා මං ප්‍රධාන තැනක් දෙන්නේ මොළයට.“

ඉතින් ඔබට උඩ තියෙන ෂර්ලොක් හෝම්ස් ගේ ප්‍රකාශයෙන් ම හිතාගන්න පුළුවන් ඇති ඔහු ඔහුගේ මොළයට සළකපු විදිහ ගැන. ඔබ දැකලා තියෙනවාද මොළයට ලේ සපයන්න නොකා නොබී ඉන්න කෙනෙක් ගැන ෂර්ලොක් හෝම්ස් ගේ පාඨකයන්ට නම් ඒක එච්චර නුපුරුදු දෙයක් නෙමෙයිනේ. ෂර්ලොක් හෝම්ස් කියන්නෙත් අන්න ඒ වගේ මොළයට වැඩියෙන් ලේ සපයන්න ඕන නිසා නොකා නොබී ඉන්න කෙනෙක්. ඒක ඔහු තදින්ම විශ්වාස කරපු දෙයක්. එක දවසක දොස්තර වොට්සන් ෂර්ලොක් හෝම්ස්ගෙන් මෙහෙම අහනවා.

“ඔබ කෑම කන එක අතහැරලා තියෙන්නෙ ඇයි? “

ඒ ප්‍රශ්නෙට හෝම්ස් නියම උත්තරයක් දෙනවා.

“සිරුර නිරාහාරව තැබීමෙන් තර්කන ඥානය දියුණු වෙනවා. ඇයි වොට්සන් ඔබ වෛද්‍යවරයෙක් හැටියට, ඔබ මේව හොඳින් දන්නව ඇතිනෙ. ආහාර ජීරණය සදහා සහ අවශෝෂණය සඳහා සිරුරේ දුවන ලේ ප්‍රමාණය විශාල වශයෙන් උදරයට ගමන් කරනවා , එතකොට ඒ ලේ ප්‍රමාණය මොළයට නොලැබී යනවා.”

මොළයට ලේ සපයන්න නොකා නොබී ඉන්න ෂර්ලොක් හෝම්ස් තරම් නොවුනත් අද ලෝකයට වඩාත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වගේ සුපිරි වීරයන්ව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *